වී ගොවීන් වෙනුවෙන් මුදල් ආධාර...

මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට මූල්‍ය ආධාරයක්

by Staff writer 21-12-2022 | 6:30 PM

COLOMBO ( News 1 st ) - මෙවර මහ කන්නයේ වී වගා කරන ගොවීන්ට රුපියල් 20,000ක උපරිමයකට යටත්ව නැවත අයකර නොගන්නා මූල්‍ය ආධාරයක් ලබා දීමට සැලසුම් කර තිබේ.

ඒ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකිනි. 

ඒ යටතේ උපරිමය හෙක්ටයාරකට හෝ ඊට අඩු ප්‍රමාණයක ගොවිතැන් කටයුතුවල නිරත කුඩා පරිමාණ වී ගොවීන් සඳහා රුපියල් 10,000ක් ද, හෙක්ටයාරයට වැඩි ප්‍රමාණයක වී වගාකරන ගොවීන් සඳහා රුපියල් 20,000ක් ද වන පරිදි මෙම දීමනාව ලබාදීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ ය.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, වී වගා කරන ගොවීන් සඳහා පමණක් මෙම මූල්‍ය ආධාරය ලබා දෙන අතර, ඔවුන්ගේ ගිණුම්වලට සෘජුවම මුදල් බැර කෙරෙන බවයි.

මෙවර මහ කන්නයේ දී වගා කිරීමට නියමිත කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර ලක්ෂ 08ක් වන අතර සියලු වී ගොවීන්ට බන්ඩි පොහොර මිලදී ගැනීමට මෙම දීමනාව ලබා දීමට සැලසුම් කර තිබේ.

මේ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් බිලියන 08ක් වන අතර ගොවි පවුල් ලක්ෂ 12කට මෙම ප්‍රතිලාභය හිමි වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ය.