එරික් සොල්හයිම් දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක

එරික් සොල්හයිම් දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක

by Staff writer 21-12-2022 | 7:14 PM

COLOMBO ( News 1 st ) - දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත්කර සිටින නෝර්වීජියානු අමාත්‍ය, එරික් සොල්හයිම් මහතා පසුගිය දින කිහිපයේ මෙරට දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර තිබේ.

දේශගුණ විපර්යාස උපදේශක දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන්නේ මොනවාද?

මේ ඒ පිළිබඳව විමසා බැලීමක්...


එරික් සොල්හයිම් මහතා 2000 - 2005 කාලසීමාවේ දැඩි කථාබහට ලක්වූ අයෙකි.

එල්ටීටීඊ සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර සාම ක්‍රියාවලියේදී විශේෂ සාම නියෝජිතයා ලෙස ඔහු කටයුතු කළේය.

වත්මන් ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව ඔහුගේ දේශගුන විපර්යාස පිළිබඳව ජාත්‍යන්තර උපදේශක තනතුරට සොල්හයිම් මහතා පත්කරගත් අතර කොප් 27 සමුළුවටද ඔහු ජනාධිපතිවරයා සමග සහභාගී විය.

පසුගිය දින කිහිපයේ මෙරට රැදී සිටි සොල්හයිම් මහතා දෙමළ සන්ධානය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, පරිසර අමාත්‍ය මොහොමඩ් නසීර් මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවී සාකච්ඡා කළ අතර ඊයේ(20) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා හමුවූ ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ජනවාර්ගික ගැටලු විසඳීමට කාලය එළඹ ඇතැයි මෙම හමුවේදී සම්බන්ධන් මහතා ප්‍රකාශ කළ බවයි.

මෙම විසඳුම් සොයා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමග යා හැකි උපරිම දුර යාමට සූදානම් බව සෝල්හයිම් මහතා ට්විටර් පණිවිඩයේ සදහන් කර තිබුණි.


ජනතා විමුක්ති පෙරමුණේ, මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා අදහස් දක්වමින් කියා සිටියේ,

එරික් සෝල්හයිම් ලංකාවට පැමිණියේ දේශගුණය නිසාද? නැත්නම් අපේ රට අල්ල ගන්න්නද? යන ප්‍රශ්නය මතුවෙන බවයි.

රනිල් වික්‍රමසිංහ ඇතුළු රටේ වත්මන් ආණ්ඩුවල ඇමැතිවරු සියලු දෙනාම ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා අභ්‍යන්තර යාන්ත්‍රණයක් සමඟ කටයුතු කරන බව පවසන අතර අභ්‍යන්තර යාන්ත්‍රණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට  ක්‍රියාමාර්ගයක් ගන්නා බව පැවසීමෙන් මෙම සිදුවන ජාත්‍යන්තර යාන්ත්‍රණය කුමක්දැයි ප්‍රශ්නයක් මතුවන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අභ්‍යන්තර යාන්ත්‍රණය හරහා රටේ ජනතාව කොටු කිරීමේ සියුම් ක්‍රියාකාරකම් සිදු කරන අතරේ එරික් සොල්හයිම් ජාත්‍යන්තර යාන්ත්‍රණය හරහා අපේ රට බිලි දෙන වැඩසටහනක් ද ක්‍රියාත්මක වන බවයි.