බෞද්ධ හා පාලි සරසවියේ පරිපාලනයේ වෙනසකට සූදානමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය වෙනස් කිරීමේ සූදානමක්..

by Staff writer 20-12-2022 | 10:41 PM

භික්ෂු විශ්ව විද්‍යාල පනත සංශෝධනය කර බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පරිපාලනය වෙනස් කිරීමේ සූදානමක් අනාවරණය වේ.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේ වසා දමා ඇති විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට අපේක්ෂා කරන්නේ මේ ක්‍රියාවලියෙන් පසුව බවයි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යයන හා පරිපාලන කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණෙන තෙක් එය වසා දැමීමට තීරණය කෙරුණේ කැබිනට් මණ්ඩලයේදී ගත් තීරණයක් මතයි.

විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබඳ එකඟතාවකට පැමිණීමට මහානාහිමිවරුන් සමග සාකච්ඡා කළ යුතු බවද කැබිනට් මණ්ඩලයේ දී තීරණය කර තිබුණි.

කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,

"ඒ සඳහා පූර්ණ අයිතිය තියෙනවා. මොකද මෙය සම්ප්‍රදායක විශ්වවිද්‍යාලයක් නෙවෙයි. එය පිහිටලා තියෙන්නෙ සාමාන්‍ය විශ්වවිද්‍යාල පනතින් නෙවෙයි. පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාල පනත කියලා විශේෂ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කරලා තියෙන්නෙ. ඒ පනත අනුව තමයි ඒක පිහිටලා තියෙන්නෙ. එයට සාමාන්‍ය විශ්වවිද්‍යාලයක තියෙන ප්‍රචණ්ඩත්වයක් හා අනෙක් දේ ආදේශ කරන්න පුලුවන් කමක් ඇත්තෙ නැහැ. එය ශාසනික උන්නතිය සඳහා පිහිටලා ආගමික විශ්වවිද්‍යාලයක් විශේෂ පනතකින්.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්,

"අපි නැවතත් යම් විදිහකින් අවතැන් වෙලා තියෙන මේ තත්ත්වයන් නැවත පනත කරා යන්නටත් පනත යාවත්කාලින කරන්නටත් ඒ සඳහා අවශ්‍ය නිති, අලුත් පාඨමාලා, එය පාලන පක්ෂයේ දේශපාලනයවත්, විරුද්ධ පක්ෂයේ දේශපාලනයවත් එළියේ ඉන්න වමාංශික දේශපාලන පක්ෂවල මතයවත් නෙවෙයි, සිදුවිය යුත්තේ ධර්ම මාර්යේ යෑම. ඒ අරමුණු සඳහා ප්‍රතිව්‍යුහ ගතකිරීමක් කරන්න වෙනවා. මගේ උත්සහාය ඒ ප්‍රතිව්‍යුහ ගත කිරීම් ඉක්මන්ට ඉවර කරලා ලබන වසරේ වෙසක් වැටෙන්නේ මැයි 05 වනදා ඊට කලින් නැවත පුජා කරන්න පුලුවන් විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා දෙන්නයි අදහස"
 
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පුජ්‍ය මිදෙල්ලෑවේ සිරිරතන හිමි,
 
"ලබන සතිය වනවිට අපි බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාලය ආරම්භ කරයි කියලා. මොකද විශ්වවිද්‍යාලය වහන්නේ අර්බුදයක් නැති වෙලාවක කිසිදු ගැටුමක් නැති වෙලාවක. ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ජා කරල ලබන සතියේ විශ්වවිද්‍යාලය ආරම්භ කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා."