එංගලන්තයට විශිෂ්ට ජයක්..

පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලි⁣ය 3-0කින් එංගලන්තය ජය ගනී

by Staff writer 20-12-2022 | 11:39 PM

COLOMBO (News 1st) - පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 3ට 0ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ඒ, පකිස්ථානයට එරෙහිව පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් අද(20) ජය ගනිමිනි.

පකිස්ථාන - එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වුණේ පකිස්ථානයේ කරච්චිහීදීය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පන්දුවට පහර දුන් පකිස්ථානය පළමු ඉනිමට සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 304කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 354ක් රැස් කළේ ය.

සිය දෙවැනි ඉනිම සඳහා පිටියට පිවිසි පකිස්ථාන කණ්ඩායමට එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 216ක් පමණි.

නායක බාබර් අසාම් ලකුණු 54ක් රැස් කළ අතර සවුද් ශකීල් ලකුණු 53ක් රැස් කළේ ය.

එංගලන්තය වෙනුවෙන් සිය මංගල ටෙස්ට් තරගාවලියට එක් වූ  යොවුන් ක්‍රීඩක රෙහාන් අහමඩ් ලකුණු 45කදී කඩුලු 5ක් දවා ගත්තේ මංගල ටෙස්ට් තරගයේ ඉනිමකදී කඩුලු 5 සීමාව පසු කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වෙමිනි.

ඒ අනුව ලකුණු 167ක පහසු ඉලක්කයක් ලබාගත් එංගලන්ත ක්‍රීඩකයන් කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

සැක් ක්‍රොව්ලි ලකුණු 41ක් රැස් කළ අතරබෙන් ඩකට් නොදැවී ලකුණු 82ක් රැස් කළේ ය.