හෙට ශිෂ්‍යත්වය නිසා අද විදුලි කප්පාදුවක් නැහැ

හෙට ශිෂ්‍යත්වය නිසා අද විදුලි කප්පාදුවක් නැහැ - ලංවිම

by Staff writer 17-12-2022 | 5:12 PM

COLOMBO ( News 1 st ) - අද(17) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, ඇන්ඩෲ නවමුණි මහතා ප්‍රකාශ කළේ, හෙට(18) ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන බැවින් අද(17) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි. 

විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, හෙට(18) පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මේ වන විට සියලු කටයුතු සූදානම් බවයි.

මෙවර විභාගය සඳහා පෙනී සිටින සිසුන් සංඛ්‍යාව 3,34 698 ක් වන අතර මධ්‍යස්ථාන 2,894 විභාගය පැවැත්වීමට නියමිතය. 

හෙට(18) පැවැත්වෙන විභාගය වෙනුවෙන්  විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පණිවුඩයක් නිකත් කරමින් කියා සිටියේ, පීඩනයකින් තොරව දරුවන්ට මෙම විභාගයට මුහුණ දීමට අවැසි ඉඩ සලසා දෙන මෙන් තමන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එසේම,  පෙර පැවැති ප්‍රශ්න පත්‍ර ක්‍රමවේදයෙන් බැහැරව හෙට දිනයේ දී දෙවන ප්‍රශ්න පත්‍රය පළමුවෙන් ම  සිසුන් වෙත  ලබා දීමට නියමිතය.

විභාග මධ්‍යස්ථානවල පවතින ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා කරුණු පැහැදිලි කළේ ය.

විභාග මධ්‍යස්ථාන, සම්බන්ධීකරණ මධ්‍යස්ථාන, එකතු කිරීමේ මධ්‍යස්ථාන හා ඇගයීම් මධ්‍යස්ථාන සඳහා අවි සහිත නිලධාරීන් අනියුක්ත කර ඇති අතර ජංගම මුර සංචාර, පාමුර සංචාර යෙදවීමට කටයුතු කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර හෙට(18) දිනයේ දී ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබා නොදීමට කටයුතු කෙරෙනු  ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම විභාගය බාධාවකින් තොරව පැවැත් වීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසය.