එරික් සොල්හයිම් හා මනෝ ගනේෂන් අතර සාකච්ඡාවක්

හිටපු නෝර්විජියානු අමාත්‍ය එරික් සොල්හයිම් හා මනෝ ගනේෂන් අතර සාකච්ඡාවක්

by Staff writer 16-12-2022 | 7:30 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙකු වන හිටපු නෝර්විජියානු අමාත්‍ය එරික් සොල්හයිම් මහතා නැවතත් මෙරට දේශපාලන පක්ෂ සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරයාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක හිටපු නෝර්විජියානු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා අද (16) දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා හමුවිය.

මේ සාකච්ඡාව සිදු වුණේ, නුගේගොඩ පිහිටි මනෝ ගනේෂන් මහතාගේ නිවසේදීයි.

ජනාධිපති ජාත්‍යන්තර දේශගුණ උපදේශක එරික් සෝල් හයිම් මහතා,

පළමුවෙන්ම මම කියන්න ඕනේ මම ශ්‍රී ලංකාවට ආවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආරාධනයකට අනුවයි අවේ. ඒ ආර්ථික අර්බුදයට පරිසර හිතකාමී විසඳුම් සෙවීමට සහ සූර්ය සහ සුළං බලශක්ති ආශ්‍රිත ආයෝජන මේ රටට ආකර්ෂණය කර ගැනීමට. අද මෙම සාකච්ඡාවේදී මනෝ ගනේෂන් මහත්මයා මට දැනුම් දුන්නා පසුගිය දා පැවති සර්වපාක්ෂික සමුළුව පිළිබඳව. එය මෙරට දේශපාලන පක්ෂවලට විසඳුම් හොයන්න ඉතාමත් වැදගත්.

2000 - 2003 කාල සීමාවේ එල්ටීටීඊ සංවිධානය හා ශ්‍රී ලංකා රජය අතර ක්‍රියාත්මක වූ සාම ක්‍රියාවලියේදී විශේෂ සාම නියෝජිතයා ලෙස මැදිහත් කාර්යය සිදු කළ සොල්හයිම් මහතා යළිත් දේශපාලන පක්ෂ සමග ආරම්භ කර ඇති මේ සාකච්ඡාව කුමක් ද?

2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වනතෙක් ඔහු මේ මැදිහත් කාර්යය ඉටු කළේ ය.

2016 දී එරික් සොල්හයිම් මහතා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ තනතුරට පත් වූ අතර 2018 ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වුණේ විදේශ සංචාරවලට වියදම් කළ මුදල් ප්‍රමාණය පිළිබඳව මතු වූ ගැටලුවක් හේතුවෙනි.

සොල්හයිම් මහතා දින 668 ක් තුළ සංචාර 529 ක් සඳහා අමෙරිකානු ඩොලර් 488,518 ක් වියදම් කර තිබුණි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමෙන් පසුව ජනාධිපති ජාත්‍යන්තර දේශගුණ උපදේශකවරයා ලෙස සොල්හයිම් මහතා පත්කරගත් අතර කොප් 27 සුමුළුවට ද ජනාධිපතිවරයා සමග සහභාගි විය.

ඒ පිටුපස සිදුවෙමින් ඇත්තේ කුමක් ද?

පසුගිය අයවැය කතාවේදී ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ අතර එහිදී ග්‍රීන් හයිඩ්‍රජන් පිළිබඳව ද විශාල බලාපොරොත්තුවකින් අදහස් පළ කළේ ය.

ග්‍රීන් හයිඩ්‍රජන් නිෂ්පාදන ක්‍රියාවලියේ පේටන්ට් බලය තියෙන්නේ නෝර්වේ රාජ්‍යයට.

නෝර්වේ රාජ්‍යයේ ග්‍රීන් හයිඩ්‍රජන් සංවිධානය ඒ වෙනුවෙන් ප්‍රමුඛ කාර්යයක් ඉටුකරන සංවිධානයකි.

මේ සංවිධානයේ ග්‍රීන් හයිඩ්‍රජන් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ එරික් සොල්හයිම් මහතායි.

පසුගිය මාර්තු මාසයේදී එවක බලශක්ති ඇමතිවරයා ශ්‍රී ලංකාවේත් ග්‍රීන් හයිඩ්‍රජන් නිපදවීමට අදාළ නියමු ව්‍යපෘතියක් සඳහා ඉන්දියාවේ ග්‍රීන්ස්ටැට් සමාගමක් සමග ගිවිසුම් අත්සන් කළේ ය.

ඉන්දියාවේ ග්‍රීන්ස්ටැට්, නෝර්වේ සහ ඉන්දියානු හවුල් ව්‍යාපාරයකි.

ගිවිසුමට සමාගම පාර්ශවයෙන් අත්සන් කළේ ශ්‍රී ලංකාවේ නෝර්විජියානු තානාපතිවරියයි.

උතුරු මුහුදේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැළසුම් සකස් කර ඇත.

සොල්හයිම් මහතාගේ මැදිහත්වීම මේ ව්‍යපෘති සමග ඇති සබඳතාව කුමක් ද?

මේ ව්‍යපෘති දේශපාලන පක්ෂ සමග සම්බන්ධ වන්නේ කෙසේ ද?

ජනතාව මේවා ගැන අවධානයෙනි.