ශාෆ්ටර්ගේ ඝාතනය තවමත් අබිරහසක්

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය තවමත් අභිරහසක්... අපරාධයේ සුලමුල සොයා විමර්ශන..

by Staff writer 16-12-2022 | 8:12 PM

COLOMBO (News 1st) - මෙරට ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු මෙන්ම කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් හතරක් මේ වනවිට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

බොරැල්ල පොදු සුසාන භූමියේ සිය මෝටර් රථය තුළ ගෙල සිරකර බැඳ දමා සිටියදී ඊයේ (15) පස්වරුවේ ශාෆ්ටර් මහතා සොයා ගැණුනි.

පසුව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ඔහු අභාවප්‍රාප්ත වූයේ ඊයේ රාත්‍රියේ ය.

දිනේෂ් ශාෆ්ටර් මහතා ඊයේ පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබුණේ, තම බිරිඳට බොරැල්ල ප්‍රදේශයට යන බව පවසමිනි.

හිටපු ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් මහතා හමුවීම එම ගමනේ අරමුණ බව ඔහු තම නිවැසියන්ට පවසා ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

එම පුද්ගලයා ශාෆ්ටර් මහතාගෙන් ලක්ෂ 1400 ක ණය මුදලක් ලබාගෙන නැවත නොදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසියට මීට පෙර පැමිණිල්ලක් කර තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ ය.

පස්වරු 2.00 ට පමණ පිටව ගිය සැමිගේ දුරකතනයට ඔහුගේ බිරිඳ ඇමැතුම් කිහිපයක් ලබාගත්ත ද ඔහු ඊට ප්‍රතිචාර දක්වා නැත.

පොලීසිය පැවසුවේ, පසුව ඇය දුරකතන යෙදුමක් භාවිත කර තම සැමියාගේ ජංගම දුරකතනය තිබෙන ස්ථානය පිළිබඳව සොයා ඇති බවයි.

එහිදී ජංගම දුරකතනය බොරැල්ල පොදු සුසාන භූමිය තුළ තිබෙන බවට සංඥා ලැබීමත් සමග ඇය දිනේෂ් ශාෆ්ටර් මහතාගේ සමාගමේ විධායක නිලධාරියෙකු එම ස්ථානයට යවා තිබේ.

එම නිලධාරියා පැමිණ පරීක්ෂා කිරීමේදී දිනේෂ් ශාෆ්ටර් මහතා සිය මෝටර් රථය තුළ අත් හා ගෙල බැඳ දමා සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති අතර සුසාන භූමියේ සේවකයෙකු හා එක්ව ඔහුව රෝහල්ගත කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ශාෆ්ටර් මහතා ඊයේ රාත්‍රියේ මිය ගියේ ය.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් හතරක් යොදා ගනිමින් මේ වනවිට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

මේ අතර දිනේෂ් ශාෆ්ටර් මහතා හමුවීමට යන බව බිරිඳට දැනුම් දුන් බව කියන හිටපු ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගෙන් පොලීසිය මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබේ.

දිනේෂ් ශාෆ්ටර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු යවන්නෙකු හා පසුව ක්‍රිකට් පරිපාලකයෙකු වූ චන්ද්‍රා ශාෆ්ටර් මහතාගේ පුත්‍රයායි.

අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 51 කි.

නීති උපාධිධාරියෙකු වන දිනේෂ් ශාෆ්ටර් මහතා බ්‍රිතාන්‍යයේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකි.

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ද හදාරා තිබූ ඔහු මෙරට ප්‍රමුඛපෙළේ මූල්‍ය සමාගමක කළමනාකරණ අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රමුඛ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේ ය.

දිනේෂ් ශාෆ්ටර් මහතා දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

මේ අතර දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දන්වා තිබේ.

අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා හමුවේ පොලීසිය කළ කරුණු දැනුම්දීම අනුව ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන බ්‍රයන් තෝමස් මහතාගේ විදේශ ගමන් තහනම් කරමින් අද නියෝගයක් නිකුත් කළේ ය. 

බ්‍රයන් තෝමස් මහතාට විදේශ ගමන් බලපත්‍ර දෙකක් ඇති බවත් එම අංක දෙකටම අදාළව මෙසේ විදේශ ගමන් තහනම අධිකරණය විසින් පනවනු ලැබීය. 

පොලීසිය ඉල්ලා සිටියේ, දිනේෂ් ශාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකතනයේ සඳහන් ඇමතුම් සම්බන්ධ විශ්ලේෂණ වාර්තාවක් අදාළ සමාගම් වෙතින් කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසයි.

අතිරේක මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා ද අවසර ලබා දුන්නේ ය.

දිනේෂ් ශාෆ්ටර් මහතාගේ හදිසි අභාවය පිළිබඳව ශාෆ්ටර් පවුලේ සාමාජිකයින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා පවුලේ සාමාජිකයින් මේ හදිසි මරණය වටා ඇති කරුණු අනාවරණය කර ගැනීම සඳහා උත්සාහ කරමින් සිටින බවයි.

තමන්ගේ හැඟීම් සහ පුද්ගලිකත්වයට මේ මොහොතේ ගරු කර සැබෑ කරුණු සනාථ කර ගැනීමට ඉඩ සලසන ලෙස ශාෆ්ටර් පවුල මාධ්‍යයෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

දිනේෂ් ශාෆ්ටර් මහතා තම පවුලේ යහපත්ම තැනැත්තා බවත් ඔහු පවුලේ ආත්මය හා හදවත බඳු අයෙකු බවත් පවසන ශාෆ්ටර් පවුල සිහිපත් කරන්නේ ඔහු ව්‍යාපාර හා ක්‍රීඩා ක්ෂේත්‍රයට නිහඬ දායකත්වයක් ලබා දුන් අයෙකු බවයි.

පවුලට, මිතුරන්ට, පරම්පරා ගණනාවකට පමණක් නොව නූපන් අයට ද ඔහුගේ නොනිමි මෙහෙය සදා අනුස්මරණීය වන ඇති බව ශාෆ්ටර් පවුල නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

තව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය විමසා තිබේ.

අමාත්‍යවරයා එහිදී උපදෙස් දී ඇත්තේ, මෙම අපරාධ මැඩලීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

මිනී මැරුම් හා මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධයෙන් තරාතිරම නොබලා කටයුතු කරන්නැයි මෙහිදී අමාත්‍යවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.