නොවැම්බර් මාසයේ HIV ආසාදිතයින් 90 ක්...

සායනයට එන්න බැරි නම්, HIV චෙක් කරන ගන්නා ස්වයං පරීක්ෂණ කට්ටලය නිවසටම...

by Staff writer 16-12-2022 | 10:06 AM

COLOMBO ( News 1st ) - වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 568 දෙනෙකු  හඳුනා ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ප්‍රකාශ කරයි.

එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය  ප්‍රකාශ  කළේ, නොවැම්බර් මාසයේ පමණක් ආසාදිතයින් 90 දෙනෙකු හඳුනා ගත් බවයි.

මේ වනවිට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක්  හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන  අතර කොළඹ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද  ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ඇය ප්‍රකාශ කළා ය.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරිය  පැවසුවේ, HIV  පරීක්ෂා කිරීමේ ස්වයං පරීක්ෂණ කට්ටල  හඳුන්වා දීමත් සමග ආසාදිතයින් හඳුනා ගැනීම ඉහළ ගොස් ඇති බවයි.

දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලින් ස්වයං පරීක්ෂණ කට්ටල   ලබා ගත හැකි අතර සායන සඳහා පැමිණිමට අකමැති පිරිස්වලට know4sure.lk වෙබ් අඩවිය හරහා ඇනවුම් කිරීම මගින් මෙම ස්වයං පරීක්ෂණ කට්ටලයක් නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.   

පරීක්ෂණය සිදු කරන ආකාරය භාෂා ත්‍රිත්වයෙන්ම සඳන්ව ඇති අතර  තමන් ආසාදිතයෙකු බවට හඳුනා ගත හොත් ඉන් පසු කළ යුත්තේ කුමක්ද යන්නත් මෙහි සඳහන්ව ඇති බව අධ්‍යක්ෂවරිය වැඩිදුරටත් සඳහන් කළා ය.  

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරිය පැවසුවේ, ආසාදිතයින් වාර්තා වීමේ අධිඅවදානම් ප්‍රදේශවල ද රෝග පාලනය සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.


ඒ අනුව අනාරක්ෂිත ලිංගික හැසිරීම් අධිඅවදානම් කණ්ඩායම් සිටින ප්‍රදේශවලදී නොමිලේ කොන්ඩම් ලබා ගත හැකි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.  

අදාළ ප්‍රදේශවල සවි කර ඇති කොන්ඩම් දැමිය හැකි මෙවලම තුළට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොස් කොන්ඩම්  දැමූ පසු ඔ්නෑම අයෙකුට ඉන් කොණ්ඩම් ලබා ගත හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරිය පැවසුවා ය. 


 ඇය සඳහන් කළේ, කොළඹ කොටුව,ගල්කිස්ස,නුගේගොඩ දුම්රිය ස්ථාන ආශ්‍රිතව මෙම මෙවලම් සවි කර ඇති බවයි.