ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ නමින් ජාත්‍යන්තර සම්මාන

ගම්මැද්ද නිර්මාතෘ ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ නමින් ජාත්‍යන්තර සම්මානයක්

by Staff writer 14-12-2022 | 9:58 PM

COLOMBO (News 1st) - අමෙරිකා එක්සත් ජනපදයේ පොදුජන සේවා පිළිබඳ වඩාත් ප්‍රචලිතම අධ්‍යයන පීඨය වන ආකන්සෝ විශ්වවිද්‍යාලයේ  ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස් සහ ගම්මැද්ද ක්‍රියාන්විතය එක්ව මනුෂ්‍යත්වය උදෙසාවන නායකත්වය අගයමින් දිවංගත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ නමින් සම්මානයක් පිරිනැමීමට තීරණයකර තිබේ.

මෙම සම්මානය ගම්මැද්ද නිර්මාතෘ ආර්. රාජමහේන්ද්‍රන් මහතාට ගෞරවයක් ලෙස පිරිනැමෙන අතර ඒ මගින් එතුමාගේ ගුණාංග හා ප්‍රතිපත්ති පිළිඹිබු කරන දරුවන් ඇගයීම සිදුවේ.

මෙම සම්මානය වාර්ෂිකව පිරිනමන අතර සම්මානලාභියා නැගී එන ගෝලීය නායකයෙකු ලෙස ද ඇගයීමට ලක්වනු ඇති.

ආකන්සෝ විශ්වවිද්‍යාලයේ, ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස් හි අධ්‍යක්ෂ, නිකොලා ඩ්‍රයිවර් මහත්මිය පැවසුවේ, මෙම සහයෝගීතාව ඉතා ඵලදායී සබඳතාවක් බවය.

මෙම සම්මානය මගින් ධනාත්මක අධ්‍යාපන අත්දැකීමක් දරුවන්ට ලබාදීමටත් ස්ථිරසාර සාමාජීය වෙනසකටත් අවස්ථාව උදාවන බව ඇගේ අදහස වී තිබේ.

ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස් සහ ගම්මැද්ද ක්‍රියාන්විතය අතර සහයෝගීතාව ආරම්භවී මේ වනවිට වසර තුනක් ගතවී තිබේ.

එහි සිසුන් කණ්ඩායමක්, ග්‍රාමීය ශ්‍රී ලංකාව පිළිබඳව විශේෂ පර්යේෂණ නිබන්ධනයක් ද සකස් කළේ, මෙම සහයෝගීතාවයේ ප්‍රථිඵලයක් ලෙසය.

ආර්. රාජමහේන්ද්‍රන් සම්මානය තුළින් දිවංගත ආර්. රාජමහේන්ද්‍රන් මහතාගේ දැක්ම අනාගත පරපුරට දායාද කළ හැකි බව ක්ලින්ටන් ස්කුල් ඔෆ් පබ්ලික් සර්විස්හි ජාත්‍යන්තර වැඩසටහන් අධ්‍යක්ෂ ටිෆනි ජේකබ් මහත්මිය සඳහන් කළා ය.

ගම්මැද්ද ක්‍රියාන්විතයේ දර්ශනය රටවල් කිහිපයක ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල මේ වනවිට අධ්‍යයනය කරමින් පවතී.