ශාන්ත ප්‍රේමරත්න අල්ලස් නඩුවෙන් නිදහස්

අල්ලස් නඩුවකට අදාළව හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්න චෝදනාවලින් නිදොස් කොට නිදහස්

by Staff writer 14-12-2022 | 8:09 PM

COLOMBO ( News 1 st ) - අල්ලස් නඩුවකට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද(14) තීරණය කර තිබේ.

ඒ , 2007 වසරේදී පුද්ගලයින් තිදෙනෙකුගේ දරුවන්ට රජයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් තුන්ලක්ෂ 65,000 ක මුදලක් තුටුපඬුරු ලෙස ලබා ගැනීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ පවරා ඇති නඩුවට අදාළවයි.  

ජනාධිපති නීතීඥ යූ.ආර් ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බලමින් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. 

ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ, පැමිණිල්ලේ සාක්ෂි මගින් නඩුව තහවුරු වී නොමැති හෙයින් විත්තිවාචකය නොකැඳවා විත්තිකරුවන් නිදහස් කරන ලෙසය. 

2015 වසරේ දී අධිචෝදනා ගොනු කිරීමෙන් පසුව අල්ලස් ලබා දුන්නේ යැයි කියන සාක්ෂිකරුවන් අධිකරණයේ සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ, තමන් එම මුදල් ලබා දුන්නේ රජයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් නොව, පක්ෂ කාර්යාලයක් ඉදි කිරීමේ කටයුත්ත සඳහා වන බවයි. 

විත්තිකාර ශාන්ත ප්‍රේමරත්න මහතා වෙනුවට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයාගේ පෙළඹවීම මත අල්ලස් පැමිණිලි ගොනු කළ බව සාක්ෂිකරුවන් ප්‍රකාශ කර ඇති අතර  එම සාක්ෂි අනුව විත්තිවාචකය නොකැඳවා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු ක‍ළේ ය.