හිටපු උපකුලපතිට පහරදෙන්න සිසුන් 300ක් ඇවිත්

පේරාදෙණිය හිටපු උපකුලපතිට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 10ක් රිමාන්ඩ්..

by Staff writer 13-12-2022 | 8:44 PM

COLOMBO (News 1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනෙකු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ, සැකකරුවන් අද මහනුවර මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සිසුන් 06 දෙනෙකු පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට පත් වූ අතර, තවත් 4 දෙනෙකු ද පසුව පේරාදෙණිය පොලිසියට භාර විය.

පහරදීමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය. 

පසුගිය 10 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු උපකුලපතිවරයාගේ නිල නිවසට ඇතුළුවී ඔහුට සහ ඔහුගේ පුත්‍රයාට පහරදී තිබුණි. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සදහන් කළේ එම පහරදීමට සිසුන් 300 දෙනෙකු පමණ පැමිණ ඇති බවයි.

ඔවුන්ට එරෙහිව දැඩිව නීතීය ක්‍රියාත්මක කරන බව ද මහාචාර්යවරයා ප්‍රකාශ කළේ ය. 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහාතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍ය භාවය ද අහෝසි කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා පැවසුවේ මේ පිරිස අතර කලා පිඨයේ සිසුන් 09 දෙනෙකු හා විද්‍යා පීඨයේ සිසුන් 03 දෙනෙකු සිටින බවයි.

මේ අතර, නව ජනතා පෙරමුණ නමින් හඳුන්වන කණ්ඩායමක් අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිද්ධිය පිළිබඳව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළේ ය.