2023 සජබ නායකත්වය සජිත්ට

2023 වසරේ සමගි ජන බලවේගයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට

by Staff writer 11-12-2022 | 8:52 PM

COLOMBO (News 1st) - 2023 වසර සඳහා සමගි ජන බලවේගයේ පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා තෝරා පත් කර ගත්තේ ය.

ඒ, අද(11) බොරැල්ල කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේග දෙවැනි සංවත්සර සමුළුවේදීයි.

"පෙරළියට මඟ කියන - කරළියට ගොඩවන්න" තේමා කරගනිමින් සමගි ජන බලවේගය අද දෙවැනි සංවත්සර සමුළුව සංවිධානය කළේ ය.

බොරැල්ල කැම්බල් පිටියේ පැවැත්වූ සමුළුවට පාක්ෂිකයින් පැමිණියේ දැවැන්ත පා ගමන් දෙකකිනි. 

එක් පාගමනක් පැමිණියේ බොරැල්ලේ සිට පැමිණි අතර තවත් පාක්ෂිකයින් පිරිසක් දෙමටගොඩ සිට පාගමනින් පැමිණියහ.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පාගමනට එක්විය.

අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ පක්ෂයේ සාමාජිකයින් කැම්බල් පිටියට පැමිණි අතර සමුළුව ආරම්භ වුණේ සර්ව ආගමික වතාවත්වලින් අනතුරුවයි.