ජා. මානව හිමිකම් දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක්

මානව හිමිකම් ප්‍රඥප්තියේ තේමාවට අනුව 2023 වසරේදී කැපිටල් මහරාජා සමූහයෙන් වැඩසටහන් රැසක්..

by Staff writer 10-12-2022 | 8:38 PM

COLOMBO ( News 1 st ) - ජගත් මානව හිමිකම් ප්‍රඥප්තිය ප්‍රකාශයට පත්කර වසර 75 ක් සැපිරීම වෙනුවෙන්  විශේෂ වැඩසටහනක් අද (10) රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විණි.


එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ,ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක හුවාන් ෆර්නෑන්ඩස්  ,  ආසියානු පැසිපික් විකාශන  සංගමයේ වැඩසටහන් අධ්‍යක්ෂක යසූ නග්හාටා , කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන්  මහතා මෙන්ම  නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් , රාජ්‍යතාන්ත්‍රිකයින් , බැංකු සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ඇතුළු  කැපිටල් මහාරාජා සමූහයේ ඉහළ කළමනාකාරීත්වය හා සම්භාවනීය අමුත්තන් රැසක් මීට එක්ව සිටියහ.

මෙහිදී කැපිටල් මහාරාජා සමූහයේ සභාපති, ශෂී රාජමහේන්ද්‍රන්  මහතා මෙම වැඩසටහනේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කළේ ය.


ශෂී රාජමහේන්ද්‍රන් - සභාපති 
කැපිටල් මහරාජා සමූහය
ලංකාවේ ව්‍යාපාරික ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක්. මෙය ශ්‍රී ලංකාව එළැඹෙන වසරේ 75 වන නිදහස සමරන්නට පෙර නිවැරදි දිශාවට තබන පියවරක් .

මේ අතර මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට කැපිටල් මහාරාජා සමුහයේ 2023  වසර වෙනුවෙන් වූ සැලැස්මද රාජමහේන්ද්‍රන්  මහතා පැහැදිලි කළේ ය.


ශෂී රාජමහේන්ද්‍රන් - සභාපති 
කැපිටල් මහරාජා සමූහය

ලෝක මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව ගත්තොත් ඊළඟ වසර  ඉතාමත්ම වැදගත් අවුරුද්දක්. 2023 දෙසැම්බර් මාසයේදී මෙම ප්‍රඥප්තියට අවුරුදු 75 ඉක්මවනවා. ඒ වගේම ඊළඟ වසර කැපිටල් මහරාජා සමූහයටත් වැදගත් අවුරුද්දක්. ඒ සිරස නාළිකාවට 25 වසරක් සම්පූර්ණ වීම . මේ සුවිශේෂි කඩයිම් දෙක වෙනුවෙන් අපි වසරක් පුරා ක්‍රියාත්මක වෙන වැඩසටහන් මාලාවක් හඳුන්වා දෙනවා.මෙමගින් මානව අයිතිවාසිකම් , සාමය, ප්‍රජාතන්ත්‍රවාදය , සංවර්ධනය  සම්බන්ධයෙන් සාකච්ඡාවට බදුන්වෙනු ඇති. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ප්‍රකාශයට පත් කෙරුණු මානව හිමිකම් ප්‍රඥප්තියේ තේමාවට අනුව එම වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු ඇති. අධ්‍යාපනය , බලගැන්වීම සහ පරිවර්ථනය එහි ප්‍රධාන තේමාවන් වනු ඇති .මම ඔබට සහතික වෙනවා මෙම තේමාවන් අද සිට 2023 දක්වා දිවෙන විශේෂ වැඩසටහන්වල ආදර්ශපාඨය වනු ඇති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්ක ටර්ක් මහතාගේ පණිවිඩයද මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණි.

වොල්ක ටර්ක් 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් 

ජාති වාදය , කාන්තා හිංසනය , අසමානාත්වය මේ ලෝකයට තාමත් ගැටලුවක්. ඒ වගේම කොවිඩ් ව්‍යසනයෙන් තීව්‍ර වුණ අසාමානාත්මතාවයන් අපි තව දුරටත් දකිනවා. ප්‍රසිද්ධ දේශපාලන තීරණ සහ අධිකාරී පාලනයන් මෙන්ම ව්‍යාජ තොරතුරු ව්‍යාප්තවීම අපි දකිනවා. මෙමගින්  ගැටුම් වර්ධනය වෙනවා. මේ ලෝකය වඩාත් නිදහස් සහ සමානාත්මතාවට ඇති කිරීමට යන ගමනට දැඩි අභියෝගයක්.

මේ අතර මෙරට මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මයගේ පණිවිඩය  නීතීඥ සොනාලි වනිගබදුගේ විසින් ප්‍රකාශයට පත් කළා ය.

නීතීඥ සොනාලි වනිගබදුගේ 
  කැපිටල් මහරාජා සමූහය විසින් සංවිධානය කරන මෙම වැඩසටහනට පෞද්ගලික අංශයේ සහභාගීත්වයත් තිබෙන අරමුණක් සහිත වැඩසටහනක්.මානව හිමිකම් ප්‍රඥප්තියේ අදහස සහ ආචාරධර්ම ඉතා මනාව මෙමගින් පිළිබිඹු වෙනවා. 

මේ අතර කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂක සුනිල් කනෝජියා මහතාද මෙහිදී අදහස් පළ කළේ ය.

සුනිල් කනෝජියා - ප්‍රධාන විධායක නිලධාරී 
කැපිටල් මහරාජා සමූහය

මෙම වැඩසටහන හරහා මානව හිමිකම් ඔස්සේ අප සියලු දෙනාම එකට බැඳෙනවා.එම බැඳිම ශක්තිමක් කිරීමට ඇති කැපවීම සනාථ කරන ප්‍රකාශයක් තමයි මේ වැඩසටහන.මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීම් , ඒ පිළිබඳව අධ්‍යාපනය ලබා දීම , වටිනාකම් ඉදිරියට රැගෙන යාම , විවිධවත්වය පෝෂණය කිරීම , අයිතීන්  ප්‍රවර්ධනය කිරීම , දරුවන්ගේ සහ විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායම්වල අයිතීන් ආරක්ෂා කිරීම  ඔස්සේ මිනිසා අතර ඇති බැඳීම තවත් ශක්තිමත් වෙනවා.

මෙම විශේෂ වැඩසටහනේදී මෙරට ලෝක උරුමය සංස්කෘතික අම්බලන්ගොඩ රූකඩ නාටකයක්ද මෙහිදී රඟ දැක්වුණ අතර මානව හිමිකම් දිනයට සමගාමීව පැවති  විවාද තරගාවලියේ අවසන් තරගය ද අද(10) රෝයල් ඉන්ස්ටිටියුට් හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අතර පැවැත් වුණේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇති හොඳම මාර්ගය අධ්‍යාපනය ද? නැද්ද? යන්න මාතෘකාව ඔස්සේයි.

නීති ආධාර කොමිෂන් සභාවේ කොමසාරිස් ජනාධිපති නීතීඥ උදිත ඉගලහේවා , නීතීඥ දේශාන් හේවාවිතාන , ආසියානු මාධ්‍ය තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මෙරට නියෝජිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ඩයස් යන මහත්වරුන් විසින් මෙම අවසන් තරගය විනිශ්චය කෙරුණා.

එහිදී මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇති හොඳම මාර්ගය අධ්‍යාපනය යන්න තර්ක කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ජය හිමි විය.

මේ අතර සිංහල භාෂා විවාද තරගාවලියේ ජය හිමි කරගත් කොළඹ විශ්වද්‍යාලයට හා එහි දෙවැනි ස්ථානය හිමි කර ගත් , විවෘත විශ්වවිද්‍යාල  කණ්ඩායමටද මෙහිදී තිළිණ පිරිනැමුණා.

දෙමළ අංශයේ ජය හිමි කර ගත්තේ CFPS නීති අධ්‍යාපන ආයතන කණ්ඩායමයි.

මෙම විශේෂ වැඩසටහනේ දී කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියෙල් මහතාද අදහස් පළ කළේය.

ශෙවාන් ඩැනියෙල් - විධායක සමූහ අධ්‍යක්ෂ
MTV මාධ්‍ය ජාලය සහ කැපිටල් මහරාජා සමූහය 

යුරෝපීය දේශපාලනික දාර්ශනිකයෙක් වූ ජොන් ජාක් රූසෝ  විසින් ලියන ලද සමාජ ගිවිසුම කෘතිය ආරම්භ කරන්නේ ඉතාමත් බලවත් වාක්‍යයකින්. ඔහු එහි කියා සිටින්නේ මනුෂ්‍යයා නිදහස් වුවත් මනුෂ්‍යා සෑම තැනම ගැටගසා ඇති බවයි.එහෙත්  පළමු වන වාක්‍යයට වඩා වැදගත් වන්නේ දෙවැනි වාක්‍යයි. එම වාක්‍යයෙන් කියන්නේ මිනිසාගේ හාම්පුතුන් යැයි  සිතාගෙන සිටිනා පුද්ගලයින්  සැබවින්ම වහලුන් වන බවයි . එයට හේතුව තමන්ගේ නිදහස වෙනුවෙන් මනුෂ්‍ය සංහතිය කරගෙන ඇවිත් තිබෙන ඓතිහාසික සටන නොනවත්වා ඉදිරියට යන හෙයින් හාම්පුතා යැයි සිතා ගන්නා පුද්ගලයාගේ අනිවාර්ය ඉරණම වන්නේ පරාජයයි. ඒ ඔවුන්  සැමදා සාමාන්‍ය මිනිසාගේ නිදහස වෙනුවෙන් ඇති කැක්කුමටත් , කැපවීමටත් , උත්සාහයටත් සැමවිට පරාජය වන නිසාවෙනි.

මෙවර මානව හිමිකම් දිනයේ තේමාව සැමට ආත්ම  ගරුත්වය, නිදහස සහ යුක්තිය යන්නයි.