වායුගෝලයේ ගුණාත්මකබව ක්‍රමයෙන් හොඳ අතට...

වායුගෝලයේ ගුණාත්මකබව ක්‍රමයෙන් හොඳ අතට... කෙසේවෙතත් එළිමහනේ ගැවසීමෙන් වළකින්නැයි උපදෙස්

by Staff writer 09-12-2022 | 2:38 PM

COLOMBO ( News 1 st ) - වායුගෝලයේ ගුණාත්මක බව අද (09)  දිනයේ සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ ,  සරත් ප්‍රේමසිරි මහතා ප්‍රකාශ කළේ  සුළං ප්‍රවාහයේ වෙනසත් සමග මෙම තත්ත්වය සාමාන්‍යකරණය වෙමින් ඇති බවයි.

ඊයේ( 08 )  දිනයේ දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මක දර්ශකය 150 -  200 ත් අතර අගයත් දක්වා ඉහළ ගිය බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

එසේම සුළං දිශාව වෙනස් වී ඇති බවත් ඊයේ දිනට සාපේක්ෂව වායු දූෂණ මට්ටම අවම වී ඇති බවත් සෑම අයෙකුම මුව ආවරණයක් පැළඳීම යහපත් බව ද  ඔහු ප්‍රකාශ කළේ ය.

මෙරට වායුගෝලයේ ගුණාත්මක තත්වය මේ වනවිට ක්‍රමයෙන් යථා තත්තවයට පත් වෙමින් ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 

ඔහු ප්‍රකාශ  කළේ, කෙසේ වෙතත් තවදුරටත් වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය නිසි ප්‍රමිතියට වඩා ඉහළ අගයක් ගන්නා බවයි.

එසේම වායු ගුණාත්මක දර්ශක අගය 0 -50 දක්වා අගයකට පත්වීම වැදගත් බවත් ඒ හේතුවෙන් ව්‍යායාම කිරීම් ආදී කටයුතුවලට එළිමහනට නොයන ලෙස ඔහු ජනතාවට දැනුම් දෙනු ලබයි.


තවද නිදන්ගත රෝග සහිත පිරිස්,ගර්භණී මව්වරුන් ආදී සෑම අයෙකුම මේ තත්ත්වය යටතේ සැළකිල්ලෙන් ක්‍රියා කරන ලෙස ද ඔහු අවධාරණය කළේ ය. 

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, වායු ගෝලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා මේ වනවිට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.