බදු පනතේ අහිතකර කොන්දේසි ඉවත් කරන්නැයි ඉල්ලීමක්

බදු පනතේ අහිතකර කොන්දේසි වහා ඉවත් කරන ලෙස බල කරමින් විරෝධතාවක්....

by Staff writer 09-12-2022 | 2:29 PM

COLOMBO ( News 1 st ) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුලු වෘත්තිකයින් එක්ව  අද (09 ) උදෑසන විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

 බත්තරමුල්ල පොල්දූව මංසන්ධිය අසළදී පැවැති මෙම විරෝධතාවයේ දී  වැඩකරන ජනතාව සූරා කන බදු පනතේ අහිතකර කොන්දේසි වහා ඉවත් කරන ලෙස බල කෙරුණි.

මෙම විරෝධතාවට ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය, රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇතුළු වෘත්තිකයෝ  පිරිසක් එක්ව සිටියහ.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් පළ  කරමින් කියා සිටියේ මේ බදු සංශෝධන රටට හිතැති ,සාමාන්‍ය ජනතාවට හිතැති වෘත්තිකයින්ට රට තුළ රැඳී සිටීමේ මානසිකත්වය ඇති කෙරෙන බදු සංශෝධන විය යුතු බවයි. එය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 සතු වගකීමක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.


ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති, සභාපති නිහාල් වීරරත්න මහතා එහිදි අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ රටේ 4 දෙනෙක් සිටින පවුලකට අවම වශයෙන් 52,000 ත් වැය වන බවත් උද්ධමනය හේතුවෙන් පෙර වසරට සාපේක්ෂව වැටුපෙහි වටිනාකම පහත බැස ඇති බවද  ප්‍රකාශ කළේ ය.


එසේම  ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් රංජන් සේනානායක මහතා සහ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නදීෂ සිල්වා මහතා ද  මෙහිදී අදහස් පළ කළහ.