.webp)
COLOMBO ( News 1 st ) – පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී සාමකාමි අයුරින් විරෝධතාවයක නිරතවී සිටි අරගලකරුවන්ට පොලු මුගුරුවලින් අමානුෂික ලෙස පහර දීමට එරෙහිව ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් 5ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(09) අවසර දුන්නේ ය.
පෙත්සම් ගොනුකර තිබුණේ, එම පහරදීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ ළහිරු චානක ඇතුළු අරගල කරුවන් පිරිසකි.
එම පෙත්සම් අද කැඳවනු ලැබුවේ විජිත් මලල්ගොඩ,ජනක් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේයි.
එම පෙත්සම් විභාගය ලබන වසරේ ජූනි මස 22 වැනිදා ආරම්භ කිරිමටද විනිසුරු මඩුල්ල දින නියම කෙරිණ.
පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ,පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ,පොලිස්පති චන්දන වික්‍රමරත්න , බස්නාහිර පළාතභාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නොතීසි යැවීමට ද නියෝග කර තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ පුලස්ති හේවාමාන්න මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනි සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ සවින්ද්රවික්රම මහතා පෙනී සිටියේ ය.