ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

වසර 7කට පසු ඉන්දියාවට එරෙහිව බංග්ලාදේශයෙන් තවත් එක්දින තරගාවලි ජයක්..

by Chathuranga Rajapaksha 08-12-2022 | 8:37 AM

COLOMBO (News 1st) - ඉන්දියාවට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයත් ලකුණු 5 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

ඒ අනුව, තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට්  තරගාවලිය තරග 2-0ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මෙය බංග්ලාදේශ කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලියක ජය වාර්තා කළ දෙවන අවස්ථාව වේ. බංග්ලාදේශ කණ්ඩායමක් ඉන්දියාවට එරෙහිව පළමු වරට එක්දින ක්‍රිකට් තරගාවලියක ජය වාර්තා කරනු ලැබුවේ වර්ෂ 2015දීය. ඒ තරග 2-1ක් ලෙසය. ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 271 ක් ලබා ගැනීමට සමත් විය. මෙහෙන්දි හසන් නොදැවී ලකුණු 100ක් වාර්තා කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී  ලබාගත හැකි වූයේ ලකුණු 266ක් පමණි. විරාට් කෝලිට ලබාගත හැකි වූයේ ලකුණු 5ක් පමණි. දෙරට අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන 10 වැනිදා පැවැත්වීමට නියමිතය.