කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

ගෝල් ග්ලැඩියේටර්ස්ට එරෙහිව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

by Staff writer 08-12-2022 | 8:15 AM

COLOMBO (News 1st) - 2022 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහි තරගය කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම කඩුලු 5 කින් ජය ගත්තේ ය. 

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 121 කි. 

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ පළමු කඩුලු 5 දැවී ගියේ ලකුණු 28කදීයි.

ග්ලැඩියේටර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොවින් සුබසිංහ ලකුණු 40යි.

කාලෝස් බැරැත්වේට් කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍ර ෆෙලෙචර් ය.

ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 30කට සීමා විය.

කැන්ඩි ෆැල්කන්ස් ඉනිමේ ලකුණු 73ක් වනවිට කඩුලු 3ක් බිඳ වැටුණ ද පිටියේ ස්ථාවර වූ කමින්දු මෙන්ඩිස් තම කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගියේ ය.

ඒ, පන්දු 34කින් ලකුණු 44ක් ලබා ගනිමිනි.

නුවන් ප්‍රදීප් කඩුලු 2ක් දවා ගත්තේ ය.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරගය ජය ගත්තේ, පන්දුවාර 15කදී කඩුලු 5ක් පමණක් දැවී සිටියදීයි.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම 2022 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව ලැබූ දෙවන ජයග්‍රහණය මෙය වේ.