උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි..

උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි.. ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹෙයි...

by Staff writer 07-12-2022 | 7:13 AM

COLOMBO (News 1st) - ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදට (07) යෙදී තිබේ. 

සංඝමිත්තා මහා රහත් තෙරණිය ඇතුළු දූත පිරිස ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද රැගෙන මෙරටට වැඩම කළේ, අද වැනි පොහෝ දිනකදීයි.

බුදුහිමියන්ට සෙවණ දුන් ජය ශ්‍රී මහ බෝධියේ අංකුරයක් මෙරටට වැඩම කරවන්නැයි එවක රට පාලනය දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගෙන් ඉල්ලීමක් කළේ ය.

මිහිඳු හිමි අනුමැතිය ලැබූ සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ පිරිස ජයශ්‍රී මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛා අංකුරය ලක්දිවට වැඩම කරවුයේ ඒ අනුවයි.

එයින් ඇති වූ ශ්‍රී ලංකාවේ බෞද්ධාගමික පුනර්ජීවනය රට පුරා පැතිර ගියේ ය.

අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් ලක්දිව මෙහෙණිසස්න අරඹමින් පැවිදි දිවියට එළඹුණු උඳුවප් පොහෝ දිනය කාන්තා පරපුරේ වටිනාකම නිතැතින්ම සිහිපත් කෙරෙන දිනයකි.

මේ අතර සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වේ.

සිරිපා සමය එළඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙන් අවසන් වීමට නියමිතයි.