ධීවරයින් සඳහා යළි අවවාදාත්මක නිවේදනයක්

සුළි කුණාටු අවදානමක්... මුහුදු නොයන්නැයි ධීවරයින්ට අනතුරු ඇඟවීම්...

by Staff writer 06-12-2022 | 6:11 AM

COLOMBO (News 1st) - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (06) පස්වරු 03 දක්වා බලපැවැත්වෙන පරිදි  ධීවරයින් සඳහා යළි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යළි දැනුම් දෙන තුරු ධීවර හා නාවුක කටයුතු නොකරන ලෙසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත පිරිස කඩිනමින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත යාත්‍රා කළ යුතු බවය.

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගිනිකොණ දිග සහ නිරිත දිග බෙංගාල බොක්ක යන කලාපවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 80 සිට 90දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය අද (06) වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීම මීට හේතුවයි.

එම පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින් ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වන බව ද කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

එලෙස වර්ධනය වන සුළි කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක හරහා ලබන 08 වැනි දා වනවිට තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, දිවයිනේ උතුරු, උතුරුමැද නැගෙනහිර පළාත්වල ලබන 6 හා 7 දිනයන්වලදී කඩින් කඩ වර්ෂාව ඇතිවීමේ හැකියාවක් පවතින බවයි.