අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්වයක්..

දිස්ත්‍රික්ක 5 කට තවදුරටත් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්

by Staff writer 05-12-2022 | 7:09 AM

COLOMBO ( News 1 st ) - දිස්ත්‍රික්ක 5 කට පැනවු නායයෑම් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ජාතික ගොඩනැගිලි  පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් එම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ වරකාපොළ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ ඇලපාත ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයටත් එම නායයෑම් පිළිබඳ  අනතුරු ඇඟවීම් නිවේදනය බලාත්මක වේ.

මේ අතර අද(05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇති විය  හැකියි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ,මහනුවර , නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති වන බව කාලගුණ නිවේදනයේ සඳහන් ය.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.