ජනපති රනිල් සහ මාලදිවයින උප ජනාධිපති අතර හමුවක්

ජනපති රනිල් සහ මාලදිවයින උප ජනාධිපති අතර හමුවක්

by Staff writer 03-12-2022 | 8:53 AM

COLOMBO (News 1 st ) - ඉන්දියන් සාගර කලාපයට බලපා ඇති මත්ද්‍රව්‍ය උවදුර හා එය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා මාලදිවයිනේ, උප ජනාධිපතිවරයා සාකච්ඡා කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මාලදිවයිනේ උප ජනාධිපති, ෆයිසාල් නසීම් යන මහත්වරුන් අතර හමුවක් ඊයේ(02) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සහාය වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයිනේ උප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී බවයි.

කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේ දී මෙන්ම අධි සුඛෝපබෝගි සේවා භුක්තිවිඳින සංචාරකයන් මෙරටට ආකර්ශණය කර ගැනීම වෙනුවෙන් ලබාදිය හැකි සහාය පිළිබඳවද එම සාකච්ඡාවේදී මාලදිවයිනේ  උප ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.

තවද එම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මාලදිවයිනේ  උප‍ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ ප්‍රයත්නය සමඟ එක්වන ලෙසයි.