T20 ලෝක කුසලානය: විමර්ශන කමිටුවක්

T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදුවීම් ගැන සොයා බැලීමට විමර්ශන කමිටුවක්

by Staff writer 02-12-2022 | 2:15 PM

COLOMBO (News 1st) - මෙවර ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ එයට අදාළ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පියවර ගෙන තිබෙනවා. 

ඒ අනුව, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කර ඇත. එම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, හිටපු අමාත්‍යාංශ ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහතා විශ්‍රාමික රියාද් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලීන්ද අල්විස් මහතා සහ නීතිඥ ශලනි රොශානා ප්‍රනාන්දු මහත්මිය යන අයයි. 2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ ICC පන්දුවාර 20යි 20 ලෝක කුසලානය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීමට 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39(3) වගන්තිය ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් මෙම කමිටුව පත් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.