.webp)
එම බෑගය ජනාධිපතිවරයාට නිල වශයෙන් භාරදීම අද (02) සිදුවුණේ ජනාධිපති කාර්යාලයේදීයි.
ලෝක නායකයන් සංචාරයන්හි නිරත වනවිට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක් භාවිත කිරීම සම්ප්රදායකි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව එවැනි බෑගයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට පවරා ඇත්තේ මෙම සම්ප්රදාය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අරමුණිනි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ විශේෂ මග පෙන්වීම මත, යුද හමුදාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ක්ෂේත්රයේ ප්‍රවීණයන් පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය ලබා දුන් පිරිවිතරයන්ට අනුව මෙම බෑගය නිර්මාණය කර ඇත.
මෙය ජනාධිපතිවරයාගෙන් පසුව තවත් ජනාධිපතිවරයෙකුට භාවිතා කළ හැකි පරිදි කල් පවත්නා නිමැවුමක් විය යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබූ අතර ඒ අනුව නිර්මාණය කළ මෙම බෑගය ආරක්ෂිතව සහ සැළසුම්සහගතව සකස්කර ඇත්තේ උසස් තත්ත්වයේ සම් යොදා ගනිමින් ය.
ජනාධිපතිවරයාගේ අත්සන ලබා ගැනීම සඳහා අමාත්‍යාංශ මගින් දෛනිකව ලිපිගොනු විශාල ප්‍රමාණයක් ජනාධිපති කාර්යාලයට යොමු කරන බවත්, එහිදී ලිපිලේඛන බහලුම් සඳහා වැයවන මුදල් අවම කර ගැනීමට සියලු අමාත්‍යාංශවලට මෙවැනි බෑගයක් භාවිත කිරීමේ හැකියාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය බෑග් ද යුද හමුදාවට නිෂ්පාදනය කළ හැකි බව පවසා තිබේ.
උසස් ප්‍රමිතියෙන් නිර්මාණය කරන ලද මෙම යුද හමුදාපතිවරයා විසින් භාරදීමෙන් පසුව එය පරීක්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට නිර්මාණ දායකත්වය සැපයූ සියලු ශිල්පීන් ඇගයීමට ලක් කළේ ය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.