ලෝක ඒඩ්ස් දිනය අදයි...

වසරේ මේ දක්වා කාලය තුළ HIV ආසාදිතයින් 479 ක්

by Staff writer 01-12-2022 | 10:30 PM

COLOMBO (News 1 st ) - ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ.

මෙවර ඒඩ්ස් දිනයේ තේමාව ''සමානාත්මතාවය සුරකිමු'' යන්නයි.

මෙවර ඒඩ්ස් දිනයේ තේමාව වන සමානාත්මතාවය සුරකිමු යන්නෙන් අදහස් වන්නේ, HIV ආසාදිතයින් සමාජයේ කොන් කිරීමකින් තොරව ඔවුන්ට සමානව සැළකිය යුතු බව සහ ඔවුන්ගේ සමානාත්මතාවය සුරැකිය යුතු බවයි.

HIV ආසාදනය පුද්ගලයෙකුගෙන්  තවත් පුද්ගලයෙකුට බෝ වන්නේ ප්‍රධාන ක්‍රම 03ක් මගිනි.එනම් අනාරක්ෂිත ලිංගික සබඳතා, මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීම සහ HIV රෝගියෙකුගේ රුධිරය වෙනත් පුද්ගලයෙකුගේ ශරීරගත වීම එම ක්‍රම තුනයි.

ඒඩ්ස් හා HIV යනු අවස්ථා දෙකකි.

HIV ලෙස හැඳින්වෙන්නේ වෛරසයක් වන අතර එම වෛරසය නිසා ඇති වන රෝග තත්ත්වය ඒඩ්ස් ලෙස හැඳින්වේ. 

යම් විෂ බීජයක් ශරීරගත වූ විට එම විෂ බීජයට එරෙහිව සටන් කිරීමට මිනිස් ශරිරයේ ඇති  ආරක්ෂක ක්‍රියා පිළිවෙත ඉටුකරන්නේ සුදු රු‍ධිරාණු මගිනි.
 
HIV හෙවත් මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය එම ප්‍රතිශක්තිකරණ පද්ධතියට මොනයම් හෝ ක්‍රමයකින් ඇතුළු වූයේ නම් පෙර ලෙස එයින් ඉටු වූ ආරක්ෂක ක්‍රියාවලිය සිදු නොවන අතර එය සම්පූර්ණයෙන් ම ඇන හිටීමට ලක්වේ.

යම් හෙයකින් පුද්ගලයෙකු තුළ ඇති මෙම වෛරසය හඳුනා නොගෙන දීර්ඝ කාලීනව ප්‍රතිකාර නොගතහොත් ඇති වන රෝග තත්ත්වය ඒඩ්ස් ලෙස නම් කෙරේ.

මෙම අවස්ථාවට පැමිණෙන විට ආසාදිත පුද්ගලයාගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය බරපතළ ලෙස විනාශ වී තිබිය හැකියි.

HIV ඒඩ්ස් රෝගයෙන්  ආරක්ෂා වීමට නම් අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් වැළකී ආරක්ෂිත ලිංගික හැසිරීම් ප්‍රවර්ධනය කිරීම වැදගත් බව වෛද්‍යවරුන් පෙන්වා දෙන අතර ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහනේ  විශේෂඥ වෛද්‍ය ගීතානි සමරවීර මහත්මිය ප්‍රකාශ කළේ,රෝගීන්ගේ රහස්‍ය භාවය රැකෙන පරිදී අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා අදාළ සායන රට පුරා ස්ථාපනය කර ඇති බවයි.

2030 දී ඒඩ්ස් රෝගය තුරන් කිරීම ඉලක්කය වුවත්, පවතින ඖෂධ හිඟය වැනි කාරණා නිසා එම ඉලක්කය අභියෝගයක් වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ, උප සභාපති විශේෂඥ වෛද්‍ය චිත්ත්‍රන් හතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ ය.