තිරසර ප්‍රගතියක් නැත්නම් COP - 28 විසුරුවයි ද....

COP - 27 සාර්ථකත්වයට දේශපාලනීකරණය සහ කල් මැරීම බාධාවක් - ජනපති

by Staff writer 30-11-2022 | 7:15 PM

COLOMBO ( News 1 st ) - COP - 27 සමුළුවේ සාර්ථකත්වයට විශාලතම බාධාව දේශපාලනීකරණය සහ කල් මරමින් සිටීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ, කෝප් ක්‍රියාවලිය මගින් එකඟවී ඇති පරිදි දේශගුණික ක්‍රියාකාරකම් පිළිබඳ විශ්වීය සහ සහයෝගී සැලැස්මක් ක්‍රියාවට නැංවීමට මුලපුරා නොමැති බවයි.

දැනට සිදුවෙමින් පවතින පරිසර විනාශය මැඩපැවැත්වීම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 100 ක මූල්‍ය ආධාර ඉලක්කය සපුරා ගැනීමට උත්සාහයක් දැරීම අත්‍යාවශ්‍ය කරුණක් බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස නූතන ලෝකයට ත්‍රස්තවාදය වැනිම තර්ජනයක් බවයි.

එහෙයින් ලෝක නායකයින් අවංකව මෙයට සම්බන්ධ නොවන්නේ නම්, ගෝලීය දේශගුණය නරක අතට හැරෙන විට සහ වාසස්ථාන අහිමි වන විට පැත්තකට වී සිටීමේ වරදට ඔවුන් වරදකරුවන් වනු ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර ඇති ප්‍රකාශයේ සඳහන්.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත COP - 28 සමුළුව තවත් ආරම්භයක්ම නොවිය යුතු බවයි.

එය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි දැඩි අවධානයක් යොමු කෙරෙන මෙන්ම දේශගුණික විපර්යාස සඳහා ගෝලීය ප්‍රතිචාරය ශක්තිමත් කෙරෙන වසරක ආරම්භය සනිටුහන් කරන මුද්‍රාවක් විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙන අතර වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම  සමුළුව අර්ථවත් වීමට නම්, COP - 28 හි තිරසාර ප්‍රගතියක් ලබා ගත යුතු අතර 
එසේ නොමැති නම්, COP විසුරුවා හැරීම වඩාත් සුදුසු බවයි.