.webp)
වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් නීතීඥ සුගත් කල්දේරා මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා නියෝජනය කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු නිළධාරියෙකු අද අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
පසුගිය මැයි 09 වනදා අරලිය ගහ මන්දිරයට රැස්වූ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් සහ ආධාරකරුවන් පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම සහ ගාලු මුවදොර ගෝඨාගෝගම භූමියේ රැඳීසිටි අරගලකරුවන්ට පොලු මුගුරු වලින් පහරදීම වළක්වා ගැනීම සඳහා නිසි පියවර නොගත් තෙන්නකෝන් මහතා සැකකරුවෙකු ලෙස නම් කර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝගයක් කරන්නැයි, ඉල්ලා නීතිඥ රාමලිංගම් රංජන් මහතා අදාල රීට් ආඥා පෙත්සම ගොනු කර තිබුණි.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම අද කැඳවනු ලැබී ය.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටීමට නියමිත බවත් ඊට අදාල ලේඛණ තමන්ට ලැබුනේ පෙර දින රාත්‍රීයේ බැවින් කරුණු දැක්වීමට කාලය අවශ්‍ය බවත් නීතීඥ සුලත් කල්දේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම පහරදීම් සම්බන්ධයෙන් නඩු කටයුත්ත හෙට යලි කැඳවීමට නියමිත බැවින් කෙටි කාලසීමාවක දිනයක් නඩුව නැවත කැඳවීම සඳහා නියම කරන ලෙසයි.