චීනය දුන් ඩීසල් අමාත්‍යාංශය වෙත භාරදීම අද

චීනය පරිත්‍යාග කළ ඩීසල් තොගය අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දීම අද..

by Staff writer 27-11-2022 | 9:13 AM

COLOMBO (News 1st) - මෙරට ධීවර සහ කෘෂිකාර්මික ප්‍රජාවට නොමිලේ ලබා දීම සඳහා චීනය පරිත්‍යාග කළ ඩීසල් තොගය අදාළ අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාර දීම අද(27) පෙරවරු 10.00ට වරාය පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතය.

චීනය පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 10.6 ක් රැගත් නෞකාවක් ඊයේ(26) කොළඹ වරායට සේන්දු විය. 

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, එම ඩීසල් තොගයෙන් ලීටර් මිලියන 06ක පමණ ප්‍රමාණයක් සිය අමාත්‍යාංශයට හිමිවන බවය.

එම ඩීසල් තොගය හෙක්ටයාරයකට ලීටර් 20ක් වන සේ ගොවීන් අතර බෙදා දීමට සැලසුම් කර තිබේ.

මේ අතර අදාළ ඩීසල් තොගයෙන් ධීවර ප්‍රජාවට ලබා දෙන ප්‍රමාණය ලීටර් මිලියන 3.79 කි.

ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ තෝරාගත් ඩීසල් භාවිත කරන සුළු පරිමාණ කුඩා යාත්‍රාවලට ධීවර වරාය හරහා අදාළ ඩීසල් බෙදා දීමට පියවර ගන්නා බවය.

මේ අතර ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ, භූමිතෙල් භාවිත කරන ධීවර ප්‍රජාව වෙනුවෙන් ද යම් සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් ඇති බවය.