.webp)
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබා දී තිබෙන්නේ 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේදී, බොරලැස්ගමුව පොලිස් ස්ථානයේදී නීතිඥවරයෙකු තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටිමට පැමිණි විට ඇයට තර්ජනය කර ඇගේ සේවාදායකයා වෙනුවෙන් පෙනි සිටීමට ඉඩ ලබා නොදීමට එරෙහිව ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක අතුරු නියෝගයක් නිකුත් කරමිනි.
පෙත්සම්කාරිය පවසන අන්දමට පැමිණිල්ල පොලීසිය විභාගයට ගන්නා අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.එස්.කේ. රූපසිංහ මහතා ඇයට එම ස්ථානයෙන් පිටව යන ලෙස අණකර තිබෙන අතර එම අණ පිලිපැදීම ප්‍රතික්ෂේප කළ පෙත්සම්කාරිය එම පොලිස් නිලධාරියාට පවසා ඇත්තේ, තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටිමට අයිතියක් ඇති බවය.
එවිට ඇයට තර්ජනය කරමින් ඇයව අත්අඩංගුවට ගන්නැයි බව පැවසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා පොලිස් ස්ථානයේ සිටි අනෙකුත් නිලධාරීන්ට ඇගේ දුරකතනය සිය භාරයට ගන්නා ලෙස අණ කර තිබේ.
පොලිස් ස්ථානයේදී, සිදුවු සංවාදයේ ලිඛිත පිටපතක් පෙත්සම්කාරිය විසින් ඉදිරිපත් කර තිබුණේ පොලිස් ස්ථානයේදී තමාට මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ඇගේ දුරකතන ඔස්සේ පටිගත කරන ලැබු හඬපටයක් අනුසාරයෙනි.
පෙත්සම සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරමින් පොලිස්පතිවරයාට නියෝග කළේ පැමිණිලි විභාග කිරීමේදී පොලීසිය අනුගමනය කළ යුතු නෛතික ක්‍රියාපටිපාටිය හඳුන්වාදීමට පියවර ගන්නා ලෙසත්, එම ක්‍රියා පටිපාටිය තුළ පැමිණිල්ලට සහභාගි වන සියලුම පාර්ශ්වයන්ට නීතිඥ සහාය ලබා ගැනීමේ අයිතියත් නීතිඥවරුන්ට ඔවුන්ගේ සේවාදායකයන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසාදීමට ප්‍රතිපාදන දිය යුතු බවය.
ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සම්බන්ධ මෙම සිද්ධිය පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තාකරන ලෙස ද නියෝග කළේ ය.