ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්..

කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවයි..

by Staff writer 26-11-2022 | 9:44 PM

COLOMBO (News 1 st ) - ආනයන අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව කැරට් 22ට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවා තිබේ.

අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණෙන ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු වාර්තාවීම මීට හේතුවයි. 

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා  ප්‍රකාශ කළේ, එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

ගුවන් මගින් පැමිණෙන පුද්ගලයින්ගේ රන් භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමාණයන් පිළිබඳව සොයා බැලීමට විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරිමට ද රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර  මුදල් අමාත්‍යාංශය නිකුත් කළ  නිවේදනයක දැක්වෙන්නේ, ගුවන් මගින්ට පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැති නිසා , දෛනිකව රත්‍රං කිලෝ ග්‍රෑම් 50ක් පමණ ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවය.

ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව ආසන්න රටවල් වෙත ගුවන් මගින් ගොස් කැරට් 24 රන් පළඳනා ලෙස සකස් කර ගනිමින් මෙරටට පැමිණෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ. 

එමගින් මාසයකට රටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 30 කි.

මේ පිළිබදව වාර්තාවක් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලබා දී තිබේ.