ඝානාවට එරෙහි ප්‍රබල පෘතුගාලයට ජය..

ඝානාවට එරෙහි ප්‍රබල පෘතුගාලයට ජය..

by Staff writer 25-11-2022 | 7:23 AM

COLOMBO (News 1st) - 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඝානා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය පෘතුගාලය ජය ගත්තේ ය.

ඒ ගෝල,  3-2ක්  ලෙසය.


42,000කට අධික ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් මෙම තරගය පැවැත් වූයේ  දෝහා පිටියේදී යි.

පළමු අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට නොහැකි විය.

65 වැනි  මිනිත්තුවේදී  පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රෙනාල්ඩෝ දඬුවම් පහරක් සාර්ථකකර ගැනීමත් සමග පෘතුගාල කණ්ඩායමේ සිය ජයග්‍රාහී ගමන ආරම්භ කිරීමට සමත් විය.

එම ගෝලයත් සමගින් ක්‍රිස්ටියානෝ රෙනාල්ඩෝ වාර්තා පොත් අතරට එක් වූයේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලි 5කදී ගෝල වාර්තා කළ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා බවට පත් වෙමිනි

තරගයේ  73 වැනි  මිනිත්තුවේදී  ඝානා කණ්ඩායම  සසිය ප්‍රථම ගෝලය වාර්තා කිරීමට සමත් විය.

78 වැනි මිනිත්තුවේ දී නැවත  ක්‍රියාත්මක වූ පෘතුගාල ක්‍රීඩකයන් සිය දෙවැනි ‌ගෝලය වාර්තා කිරීමට සමත් විය.

තරගයේ 80 වන මිනිත්තුවේ දී රාෆාඑල් ලියෝ පෘතුගාලය වෙනුවෙන් තෙවැනි ගෝලය වාර්තා කළේ ය.

කෙසේ වෙතත් ඝානා කණ්ඩායම තරගයේ ජයග්‍රාහණය සඳහා ප්‍රබල උත්සහයක් ගත්තේ,  89 වන මිනිත්තුවේ ගෝලයක් වාර්තා කර ගනිමිනි.

කෙසේ වෙතත් එය ඝානා කණ්ඩායමේ ජයග්‍රාහණයට ප්‍රමාණවත් වූයේ නැත.