මෘදුකාංගයකින් මුදල් තැන්පත් කරවා ගත් 8ක් රිමාන්ඩ්

ජනතාව මුලාකොට මෘදුකාංගයක් හරහා මුදල් තැන්පත් කර ගත් චීන ජාතිකයින් ඇතුළු 8ක් රිමාන්ඩ්..

by Staff writer 24-11-2022 | 5:28 PM

COLOMBO ( News 1 st ) –  ස්පෝර්ට් ජෙන් නමැති පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දී ප්‍රතිලාභ ලබාදෙන බවට මහජනයා මුලාකොට එම මෘදුකාංගය හරහා මුදල් තැන්පත් කරවා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ චීන ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද(24) නියෝග කළේ ය. 

එම නඩුවේ පළමු සැකකරු වන ශ්‍යාමල් කීර්තිබණ්ඩාර නමැත්තා මීට වසර කිහිපයකට පෙර කුලී නිවසක ජීවත් වූ අයෙකු බවත්,ඔහු මේ වනවිට රුපියල් කෝටි ගණනාවක් වටිනා දේපළවල හිමිකාරිත්වය දරන බවත්, සෙසු සැකකරුවන් සුපිරි නිවාස සංකීර්ණවලින් නිවාස හා වෙනත් දේපල  මිලදී ගෙන ඇති බවත්,පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතීඥ හංස අබේරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

මේ වනවිට අනාවරණය වී ඇති තොරතුරු අනුව ඉතා සංවිධානාත්මකව රටපුරා එක් ජාලය ක්‍රියාත්මක කර ඇති සැකකරුවන් රුපියල් මිලියන 15කට අධික මුදලක් වංචා කර ඇතැයිද රජයේ අධිනීතීඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ ය.