කැමරූන් කණ්ඩායමට එරෙහි ජය ස්විට්සර්ලන්තයට

කැමරූන් කණ්ඩායමට එරෙහිව ස්විට්සර්ලන්තයට ජය..

by Staff writer 24-11-2022 | 7:03 PM

COLOMBO ( News 1 st ) –   2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කැමරූන් කණ්ඩායමට එරෙහි තරගය ස්විට්සර්ලන්තය අද(24) ජය ගත්තේ ය.

G කාණ්ඩයේ මූලික වටයේ තරගයක් වූ මෙය කටාර්හි අල් ජැනොවුබ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. 

39,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති තරගය ආරම්භයට පෙර ප්‍රවීණ කැමරූන් පාපන්දු ක්‍රීඩක රොජර් මිලාට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විශේෂ උපහාර සම්මානයක් ප්‍රධානය කළේ ය.

තරගයේ පළමු අර්ධයේදී දෙපිලම ගෝල රැස් කිරීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ නමුත් දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු 3කට පසුව ක්‍රියාත්මක වූ ස්විට්සර්ලන්ත ක්‍රීඩක බ්‍රීල් එම්බෝලෝ තරගයේ පළමු ගෝලය රැස් කළේ ය.

කැමරූන් කණ්ඩායමට දෙවැනි අර්ධයේදී ද ගෝල රැස් කිරීමට නොහැකි වීම නිසා තරගය අවසන් වූයේ ගෝල 1ට 0ක් ලෙස ස්විට්සර්ලන්තයට ජය හිමිකර දෙමින් ය.
 
මේ අතර, අද පෘතුගාලය සහ ඝානාව අතර තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.  

සුපිරි පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ද මෙම තරගයට සහභාගී වීමට නියමිතය.

ඔහු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව සිටින්නේ යුරෝපා පාපන්දු සම්මේලනය මගින් ඔහුට අන්තර් සමාජ තරග 2ක් තහනම් කිරීම හේතුවෙන් ය.