භූමිතෙල් බෙදා හැරීමේ ප්‍රමාදය අවසන් කරනවා

භූමිතෙල් බෙදා හැරීමේ ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ අවසන් කරනවා - රජය

by Staff writer 23-11-2022 | 6:53 PM

COLOMBO ( News 1 st ) - භූමිතෙල් බෙදා හැරීමේදී පවතින ප්‍රමාදය ඉදිරි දින දෙක තුළ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ, ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අද(23)  භූමිතෙල් බවුසර් 74 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවය.

ඊට අමතරව පෞද්ගලික අංශයේ පිරවුම්හල් 49 ක්, සමූපකාර පිරවුම්හල 18 ක් සහ වෙනත් පිරවුම්හල් 07 කින් ඔවුන් වෙත අඛණ්ඩව භුමිතෙල් බෙදාහැරීම සිදු කරන බවද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කර තිබේ.

අනුමැතිය ලබා දී ඇති නමුත් මුදල් නොගෙවීම හේතුවෙන් ඊයේ දිනයේ භුමිතෙල් නිකුත් කර නැති සියලුම පිරවුම්හල් වෙත අද(23) දිනයේ දී භුමිතෙල් නිකුත් කිරීමට උපදෙස් ලබා  දී ඇති බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ ය. 

මේ දක්වා භූමිතෙල් බෙදීම සිදු නොකළ සමූපකාර පිරවුම්හල් 18ක් මගින් ද භූමිතෙල් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ධීවර ප්‍රජාව වෙත ඉන්ධන බෙදා හැරීම පිළිබඳ අධීක්ෂණය හා මෙහෙයවීම ඊයේ  සිට පළාත් ප්‍රධාන ලේකම්වරු සහ දිසාපතිවරු වෙත පවරා ඇති බවයි.