ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් 162ක් මරුට

ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 162ක් දක්වා ඉහළට.. තවත් සිය ගණනකට තුවාල...

by Staff writer 22-11-2022 | 8:55 AM

News 1st - ඉන්දුනීසියාවේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 162 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති අතර පුද්ගලයින් සිය ගණනක් තුවාල ලබා ඇති බවයි.

බටහිර ජාවාහි සියන්ජුර් නගරයට කිලෝමීටර් 10 ක දුරින් පිහිටි නොගැඹුරු මුහුදේ හටගත් භූ කම්පනයේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 5.6 කි.

භූ චලනය සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 100ක් පමණ ඈතින් පිහිටි ජකර්තා අගනුවරට ද කම්පනය දැනී ඇති අතර එහි උස් ගොඩනැගිලිවලින් පුද්ගලයින් ඉවත් කිරීමට එරට බලධාරීහු කටයුතු කළහ.

පුද්ගලයින් 13,000 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් අවතැන් වී ඇති අතර නිවාස 2,200 කට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති බව ද සඳහන් වේ.

භූ චලනය ඇති වූ ප්‍රදේශය ජනාකීර්ණ වීම සහ දුර්වල ලෙස ඉදිකරන ලද නිවාස පිහිටා තිබීම එලෙස ජීවිත හානි වැඩිවශයෙන් සිදුවීමට හේතුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

කඩා වැටුණු ගොඩනැගිලි යට තවමත් සිරවී ඇතැයි සැලකෙන අනෙක් පුද්ගලයින් බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් දියත් කර ඇත.