ඉරානයට එරෙහිව එංගලන්තයට ජය

ඉරානයට එරෙහිව එංගලන්තයට ගෝල 6-2 විශිෂ්ට ජයක්

by Staff writer 21-11-2022 | 10:21 PM

COLOMBO (News 1st) - 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහභාගී වූ පළමු  තරගය ගෝල 6ට 2ක් ලෙස අද(21)  ජය ගැනීමට සමත් විය.

ඒ, ඉරානයට එරෙහිවයි.

තරගාවලියේ B කාණ්ඩයේ තරග අද ආරම්භ විය.

ඒ අනුව එම කාණ්ඩයේ පළමු තරගයට එක් වූයේ ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 5 වැනි ස්ථානයේ පසු වන එංගලන්තය සහ එහි 20 වැනි ස්ථානයේ පසු වන ඉරානයයි.

කලීෆා අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැති තරගය ආරම්භයේ සිටම එංගලන්ත කණ්ඩායමෙන් ඉරානයට ප්‍රබල අභියෝගයක් එල්ල විය.

තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ, එංගලන්තයයි.

ඒ අනුව ජූඩ් බෙලිංහම් තරගයේ 35 වැනි මිනිත්තුවේදී එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය සටහන් කළේ ය.

ඔවුන් සිය දෙවැනි ගෝලය ලබා ගත්තේ ඉන් මිනිත්තු 8කට පසුවයි.

සාකා එම ගෝලය ලබා ගත්තේ ය.

එංගලන්තය තුන්වැනි ගෝලය රැස් කළේ පළමු අර්ධය අවසානයේදී ආබාධ සඳහා ලබා දුන් අතිරේක කාලයේදීයි.

ස්ටර්ලින් එම ගෝලය රැස් කිරීමට සමත් විය.

ඒ අනුව පළමු අර්ධය අවසන් වන විට ගෝල 3ට 0ක් ලෙස එංගලන්තය ප්‍රබල ස්ථානයක පසු විය.

දෙවැනි අර්ධයේදී ද එංගලන්ත ක්‍රීඩකයින් සිය අණසක පැතිරවූ අතර එම කණ්ඩායමේ සාකා දෙවැනි ගෝලය ලබා ගත්තේ 62 වැනි මිනිත්තුවේදීය.

ලෝක කුසලාන තරගයකදී එංගලන්තය වෙනුවෙන් ගෝලයකට වඩා වැඩි සංඛ්‍යාවක් රැස් කළ ලාබාලතම  ක්‍රීඩකයා ලෙස සාකා අද වාර්තා අතරට එක් විය.

ටරෙම්මි, තරගයේ 65 වැනි මිනිත්තුවේදී ඉරානය වෙනුවෙන්  පළමු ගෝලය ලබා ගත්තේ ය.

එංගලන්තය පස්වැනි ගෝලය  ලබා ගත්තේ 71 වැනි මිනිත්තුවේදීය.

තරගයේ 89 වැනි මිනිත්තුවේදී එංගලන්තය 6 වැනි ගෝලය රැස් කළේ ය.

කෙසේ නමුත් ඉරානයේ ගෝල සංඛ්‍යාව 2ක් බවට පත් වූයේ තරගයේ නියමිත කාලය අවසානයේදී ලබා දුන් දඩුවම් පහර සාර්ථක කර ගැනීමත් සමගයි.

එම දඬුවම් පහර සාර්ථක කර ගත්තේ මෙහදි ටරෙම්මි.

ඒ අනුව ගෝල 6ට 2ක් ලෙස එංගලන්තය තරගය ජය  ගත්තේය. 

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තරග සියල්ලේම උද්වේගය ඔබ වෙත ගෙන ඒමට ''චැම්පියන්ස් නෙට්වර්ක්" සූදානම්.

තරගාවලියේ සියලු තරග ටීවී වන් නාළිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.