ඕමානයේ සුරක්ෂා නිවස්නයේ දුක් විඳින කාන්තාවන්ට සිදුවන්නේ කුමක් ද?

by Staff writer 18-11-2022 | 9:37 PM

COLOMBO (News 1st) - රටේ ජනතාව දහසකුත් ප්‍රශ්නවල.

ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නයට දූෂණය නාස්තිය වගේම වැරදි තීරණත් හේතු වුණා.

අවම මට්ටමින් ජීවිතය ගෙනියන්නත් දැන් ජනතාවට අවදානම් තීරණ ගන්න වෙලා.

මැදපෙරදිග ගෘහ සේවයත් එවැනි අවදානම් තීරණයකි.

දරු පවුල ජීවත් කරන්න මැදපෙරදිග මෙහෙකාරකම් කරන්න ගිය අපේම සහෝදරියන් විඳින ගැහැට නිව්ස්ෆස්ට් අපි අවස්ථා ගණනාවකදී හෙළි කළෙමු.

ඒත් ඒවා දැන් බීරි අලින්ට වීනා වයනවා වගේය.

වගකිව යුත්තන්ට නොපෙනෙන මේ ඛේදවාචකයේ තවත් පැතිකඩක් මේ...

සංචාරක වීසාවලින් ඕමානයට රැගෙන ගිය කාන්තාවන් රැසක් මුහුණ දුන් අත්දැකීම් අප දින කිහිපයක් අනාවරණය කළෙමු.

ඇතැම් කාන්තාවන් වෙන්දේසියේ විකුණා තිබුණේ ලිංගික වහල් සේවයටයි.

විවිධ හිරිහැරයන්ට ලක් වූ එවැනි කාන්තාවන් 90 දෙනෙක් මේ වනවිට ඕමාන තානාපති කාර්යාලය යටතේ ඇති සුරක්ෂා නිවස්නයේ රඳවා සිටී.

කාන්තාවන් 90 දෙනෙකුට අවශ්‍ය අවම පහසුකම්වත් මේ නිවස්නයේ නැත.

ලිංගික වහල් සේවයට අලෙවි කළ කාන්තාවන් ඇතුළු විවිධ හිරිහැරයන්ට ලක් වූ කාන්තාවන් තානාපති කාර්යාලය යටතේ ඇති නිවස්නයේදී නැවත නැවතත් පීඩාවට පත්වන බව මේ වනවිට අනාවරණය වී තිබේ.

ඕමානයේදී විවිධ හිරිහැරයන්ට ලක්ව යළි පැමිණි තවත් කාන්තාවක් අපට අනුරාධපුරයේදී හමුවිය. 

පසුගිය 30 වැනි දා සුරක්ෂා නිවස්නයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් එරට තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක ද නිරත විය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයේදී සුරක්ෂා නිවස්නයේදී කාන්තාවන්ට අතවර කරන බවට චෝදනා නැගෙන තානාපති කාර්යාලයේ නිලධාරියා හඳුනාගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, මේ වනවිට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති උපදෙස් ඉල්ලා ඇති බවයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය, මනූෂ නානායක්කාර මහතා,

සංචාරක වීසා මගින් ගුවන්තොටුපොළෙන් හරි එහෙමත් නැතිනම් හොරාට නැව්වලින් හරි බෝට්ටු මගින් හරි යනවා නං ඒක විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධ කාරණාවක් නෙවෙයි. තැරැව්කරුවන් මේ වෙනකොට කිහිපදෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා වගේම. මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් සමග එකතුවෙලා විශේෂ කමිටුවක් පිහිටුවා මේ වෙනකොට දැනට ලංකාව ඇතුළේ , ඒ වගේම ගුවන්තොටුපපොළේ ඒකට සම්බන්ධ සියලු පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ මෙහෙයුමක් මේ වෙලාවේ ආරම්භ කරලා තියෙනවා.

ඇමතිවරයා පවසන ආකාරයට කමිටු පත්කරමින් මේ ප්‍රශ්නය විසඳන්න කල් මැරිය හැකි ද?

රට මේ මොහොතේ මුහුණදෙන අර්බුදයට යම් තරමකින් හරි සහනයක් ලැබෙන්නේ මේ කාන්තාවන් එවන ඩොලර්වලිනි.

මේ අහිංසක ජීවත එක්ක අපිට කල් මරන්න හරි සෙල්ලම් කරන්න හරි පුළුවන් ද?

ඒ නිසා ඇමතිතුමණි වහා ක්‍රියාමාර්ගයක් ගන්න.

නැත්නම් මේ ජීවිත විතරක් නෙමෙයි පවුල් පිටින් පාරට වැටෙයි.