.webp)
නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් බීබීසීය සමග ප්‍රකාශ කළේ, පසුගිය අඟහරුවාදා පෝලන්තයේදී පුද්ගලයන් දෙදෙනෙකුට මරු කැඳ වූ මිසයිල ප්‍රහාරය බොහෝ විට යුක්රේන මිසයිලක් විය හැකි බවයි.
යුක්රේන දේශසීමාව ආසන්නයේ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර බොහෝ විට මෙය යුක්රේන ගුවන් ආරක්ෂක මිසයිලයක් විය හැකි බව ඔහු සඳහන් කළේ ය.
කෙසේවෙතත් දිගින් දිගටම යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් අවසානයේ රුසියාවටම මෙම ප්‍රහාරයට දොස් පැවරිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.
යුක්රේනයම දිගින් දිගටම චෝදනා කරන්නේ, රුසියාව විසින් මෙම මිසයිලය එල්ල කළ බවටයි.
"මෙය අපගේ මිසයිලයක් නොවන බවට මට කිසිදු සැකයක් නැහැ" යුක්‍රේන ජනාධිපති වොලඩමීර් සෙලන්ස්කි ප්‍රකාශ කර තිබේ.
ඔහු කියා සිටියේ, යුක්‍රේන හමුදා වාර්තා මත පදනම්ව මෙය රුසියානු මිසයිලයක් යැයි තමා විශ්වාස කරන බවයි.
පෙබරවාරි 24 වන දින යුක්‍රේන ආක්‍රමණයෙන් පසු මාස නවය තුළ රුසියාව සිය විශාලතම මිසයිල ප්‍රහාරක රැල්ල ලෙස සැලකෙන ප්‍රහාරයක් පසුගිය අඟහරුවාදා යුක්‍රේනය වෙත එල්ල කිරීමත් සමග යුක්රේන ගුවන් ආරක්ෂක පද්ධති සක්‍රීය වී ඇත.
රුසියානු මිසයිල ගණනාවක් යුක්‍රේනය විසින් ඉලක්ක කර ඇති අතර ඔවුන් පවසන්නේ එම මිසයිලවලින් බොහොමයක් බිම හෙළීමට තමන් සමත් වූ බවයි.
ඉන්දුනීසියාවේ පැවති G 20 සමුළුව අතරතුර පෝලන්තයට එල්ල වූ මෙම මිසයිල ප්‍රහාරය ජාත්‍යන්තර කැළඹීමක් ඇති කළ අතර නේටෝ සාමාජික රාජ්‍යයක් වන පෝලන්තයේ භූමිය තුළ මිසයිල පිපිරීමක් පිළිබඳ පුවත යුද්ධය භයානක ලෙස තීව්‍ර වනු ඇතැයි යන බිය මතු කළ බව විදෙස් වාර්තාවල සඳහන් ය.
නේටෝ සන්ධානයේ සාමාජිකයෙකු නොවන නමුත් පුළුල් හමුදා ආධාර ලබන යුක්රේනයට වඩා දියුණු ගුවන් ආරක්ෂක පද්ධතියක් සැපයීමට නේටෝ සංවිධානය ප්‍රතිඥා දුන් බව නේටෝ මහලේකම් ස්ටෝල්ටන්බර්ග් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.