දුමින්ද නඩුවේ වගඋත්තරකරුවෙකු ගැන දැනුම් දීමක්

දුමින්ද සිල්වා නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමේ සූදානමක්..

by Staff writer 17-11-2022 | 9:37 PM

COLOMBO ( News 1st ) – මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබ සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේ විත්තිකරුවෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් . දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති පොදු සමාව ලබාදීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දරන් මහතා අද(17) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. 

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පාර්ශ්ව 03 ක් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගාමිණි අමරසේකර හා ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල හමුවේදී අද කැඳවිය.

හිටපු ජනාධිපතිවරයා මේ වනවිට ජනාධිපති ධුරය නොදරන බැවින් ඔහුට හිමිවිය යුතුව තිබූ ජනාධිපති මුක්තිය අහෝසි වී ඇති බවත්, ඒ අනුව ඔහු වගඋත්තරකරුවකු ලෙස නම් කිරීමට අපේක්ෂා කරන බවත්, ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනයකදී කරුණු දැක්වීමට පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදුන් විනිසුරු මඬුල්ල එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට දින නියම කළේ ය.