මහාචාර්ය මර්ලින් පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

සම්මානිත මහාචාර්ය මර්ලින් පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 16-11-2022 | 3:55 PM

COLOMBO (News 1st) –  සුවහසක් දරුවන්ගේ නැණස පාදමින් මෙරට උසස් අධ්‍යාපන ක්‌ෂේත්‍රයට මෙන්ම සාහිත්‍යට මහඟු මෙහෙයක් ඉටු කළ සම්මානිත මහාචාර්ය මර්ලින් පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 

1930 ජූලි 9 වැනිදා කොළඹදී උපත ලද ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සහ මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලවලින් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති අතර  ද්විතියික අධ්‍යාපනය හදාරා ඇත්තේ, බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙනි. 

උපාධිය හැදෑරීමෙන් පසු රාජ්‍ය ආයතන රැසක විවිධ වෘත්තින්හි නියැලුණු පීරිස් මහතා 1961 වසරේ  විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය භාෂා පිළිබඳ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස පත්වීම් ලැබී ය. 

පසුව මර්ලින් පීරිස් මහතා 1963  වසරේදී කථිකාචාර්යවරයකු ලෙසත්, 1972 දී සම්භාව්‍ය භාෂා පිළිබඳ අධ්‍යන අංශයේ අංශාධිපති ලෙසත්, 1980 වසරේ සිට  එම අංශයේ මහාචාර්යවරයකු ලෙසත් සේවය කර ඇත. 

මහාචාර්ය මර්ලින් පීරිස් මහතා පරිවර්තන ද ඇතුළුව ප්‍රකාශයට පත් කර ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 50ට අධික ය. 

ග්‍රීක සම්භාව්‍ය සාහිත්‍ය සිංහල බසට පරිවර්තනය කරමින්  පීරිස් මහතා සිංහල සාහිත්‍ය සුපෝෂණය සඳහා ඉටු කළ මෙහෙය අනභිබවනීයයි.

ශ්‍රී ලාංකීය සාහිත්‍යයට ඉටු කළ මහඟු දායකත්වය වෙනුවෙන් 2016 වසරේ පැවති 59 වැනි සාහිත්‍ය සම්මාන උළෙලේදී මර්ලින් පීරිස් මහතා   'සාහිත්‍යරත්න' සම්මානයෙන් ද පිදුම් ලැබීය.