වී ගොවීන්ට දැනුම්දීමක්

වී සඳහා නිර්දේශ කළ මුළු යූරියා පොහොර ප්‍රමාණය එකවර ගොවීන්ට - ඇමති මහින්ද අමරවීර

by Staff writer 16-11-2022 | 10:26 PM

COLOMBO (News 1 st ) - වී වගාව සඳහා හෙක්ටෙයාරයකට ලබා දෙන සම්පූර්ණ පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 157ක් එක්වර ලබා දීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතා අදාළ  අංශවලට උපදෙස් ලබා දී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අද(16) සිට දිවයිනේ සියලුම ගොවිජන මධ්‍යස්ථානවලින් ගොවීන්ට වී වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර ප්‍රමාණයම මිලදී ගැනිමට හැකි බවය.

කිසියම් ප්‍රදේශයක යූරියා පොහොර සැපයීම මෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථානවලදී එම කටයුතුවලට සම්බන්ධ නිලධාරීන්ගෙන් හා සේවකයින්ගෙන් ගොවීන්ට යම් යම් හිරිහැර හා සිත්රිදවීම් මෙන්ම සේවය පැහැර හැරීම් සිදුවන්නේ නම් පහත සඳහන් දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද  අමාත්‍යවරයා සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ සඳහා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ, චන්දන ලොකුහේවාගේ මහතාගේ 0718714219 මෙම දුරකතන අංකයට දැනුම් දිය හැකිය.

කාර්යය පැහැර හරින  නිලධාරීන් හා සේවකයින් සම්බන්ධව ලැබෙන පැමිණිලි  වහා විමර්ශනය කරන ලෙසත්, අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ වැඩ තහනම් කරන ලෙසත් අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් දුන් බව ද නිකුත් කළ අදාළ  නිවේදනයේ දැක්වේ.

මේ වනවිට ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම දිවයිනේ මේ වනවිට වගා කටයුතු ආරම්භ කර ඇති දිස්ත්‍රික්කවලට අවශ්‍ය තරම් යූරියා පොහොර තොග යවා තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඊයේ(15) යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් සහිත නෞකාවක් කොළඹට පැමිණි අතර එම යූරියා පොහොර ගොඩබෑම මෙන්ම රාජ්‍ය පොහොර සමාගම් දෙක මගින් බෙදාහැරීම කටයුතු ද ආරම්භ කර ඇති බවය.