අයවැයෙන් ඉහළ යන පාස්පෝට් ගාස්තු..

විදෙස් ගමන් බලපත්‍ර ගාස්තු ඉහළට..

by Staff writer 16-11-2022 | 8:51 PM

COLOMBO ( News 1 st ) - හෙට (17)  සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කර තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ 2023 වර්ෂයේ අයවැය යෝජනාවකට අනුව එම සංශෝධනය සිදු කර ඇති බවයි.

එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 15,000 සිට රුපියල් 20,000 දක්වා සංශෝධනය කර තිබේ.

එක්දින සේවය යටතේ වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට වසර 03 ක් වලංගු ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමේ ගාස්තුව සංශෝධනය කර ඇත්තේ රුපියල් 7500 සිට රුපියල් 9000 දක්වායි.

සාමාන්‍ය සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ ගාස්තුව රුපියල් 3500 සිට රුපියල් 5000 දක්වා සංශෝධනය කර තිබෙන අතර ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල නොමැති රටවලින් විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් සෘජුවම භාරදීම සඳහා වන ගාස්තු සංශෝධනය කර ඇත්තේ රුපියල් 23,200 සිට රුපියල් 40,000 ක් දක්වායි.