ජාතික සභා අනුකාරක සභාවේ පළමු වාර්තාව

දේශීය ණයත් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සැලසුමක් - ජාතික සභා අනුකාරක සභාවේ පළමු වාර්තාවෙන් අනාවරණයක්

by Staff writer 16-11-2022 | 6:48 PM

COLOMBO ( News 1 st ) - දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවන බව, ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සදහා වූ ජාතික සභා අනුකාරක සභාවේ පළමු වාර්තාව අනාවරණය කර ඇත.

එම කමිටුව සඳහන් කරන්නේ, විධිමත් සාකච්ඡාවකින් පසුව සාමූහික එකඟතාවකින් එය කළ  යුතු බවය.

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත කළ  යෝජනාවට අනුව පිහිටුවනු ලැබූ ජාතික සභාවට ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි හා මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගෙන යෝජනා කිරීම සඳහා ජාතික අනුකාරක සභාවක් පත් කළේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ සභාපතිත්වයෙනි.

ටිරාන් අලස් හා වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙකු මේ කමිටුවට ඇතුළත්.

එහි පළමු වාර්තාව අද ප්‍රකාශයට පත්කළ  අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව වාර්තාවේ සඳහන් කරුණු අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සූදානම පිළිබඳව කරුණු සඳහන් කර තිබේ.

කමිටුව පෙන්වා දෙන්නේ, ණය තිරසරභාවය තහවුරු කිරීම සදහා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය බව බොහෝ ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන බවයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකිරීම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන වඩාත් දුෂ්කර ඉලක්කයක් බවට පත්කර ඇතැයි ද එම වාර්තාවේ සදහන් වේ.

මේ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර ඇතැයි  වාර්තාවන බව සඳහන් කරන ජාතික කමිටු වාර්තාව පෙන්වා දෙන්නේ, දැනටමත් දේශීය ණය  මිලදී ගැනීමේ හැකියාව 60% කට වඩා සංකෝචනය වී ඇති බැවින් සාමූහික එකඟතාවකින් එය සිදුකළ යුතුව ඇති බවයි.

එහිදී දේශීය බැංකුවල තැන්පත්කරුවන්, සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පත්කරුවන් හා දේශීය ආයෝජකයන් සදහා විධිමත් සාකච්ඡාවකින් පසුව සාමූහික එකඟතාවක් ඇති කරගත යුතු යැයි කමිටුව යෝජනා කරන අතර මෙවැනි ක්‍රියාමාර්ගයක් තුළින් විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව විශ්වසනීයත්වයක් ඇතිකරනු ඇතැයි කමිටුවේ විශ්වාසයයි.

ආර්ථික ස්ථායීකරණයට අදාළ වැඩසටහන් හඳුනා ගැනීමේ ජාතික සභා අනු කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වමින් කියා සිටියේ 
ලෝක බැංකුවෙන් ලද  විශේෂඥ තොරතුරුවලට අනුව  මූල්‍ය අරමුදල කරා යාමට ලංකාව ප්‍රමාද වී තිබේ.ලෝක ඉතිහාසයේ IMF දත්ත අනුව සිය සංචිත වූ පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මූල්‍ය මූල්‍ය අරමුදලේ උපකාර අපේක්ෂා කළ එකම රට ශ්‍රී ලංකාව බවත් ඒ නිසා ඇතිව ඇති අයහපත් තත්ත්වය හේතුවෙන් දේශීය ණය  ප්‍රතිව්‍යුහගත  කිරීමේ ගැටළුවක් මතුව ඇතැයි ඔහු සඳහන් කළේ ය.

මේ වනවිට ශ්‍රී ලංකාව ද්වීපාර්ශ්වික හා විවෘත වෙළෙඳපො⁣ළෙන් ලබාගත් විදේශීය ණය ගෙවීම් අත්හිටුවා තිබේ.

එසේම  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන අමෙරිකානු ඩොලර් බිලියන 2.9 විස්තීරණ ණය පහසුකම කෙරෙහි  අවධානය යොමු කර තිබේ.

කාර්ය මණ්ඩල එකඟතාවට අනුව සමාන වාරික 4 කින් ලබාදෙන  ඩොලර් බිලියන 2.9 ලබා ගැනීම සඳහා අයි.එම්.එෆ්.  අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබාගැනීමට නොගෙවා ඇති ණය සම්බන්ධයෙන් නිසි වැඩ පිළිවෙළක් සකස් කළ යුතු වේ.

අයි.එම්.එෆ්.  අපේක්ෂාව වන්නේ මේ ණය ප්‍රමාණයෙන් යම් කොටසක් කපා දැමීමයි.

නමුත් මෙරටට ණය ලබාදුන් විශාලතම ද්වීපාර්ශ්වික ණය හිමියා වන චීනය ණය කපා හැරීම  පිළිබඳව තවමත් එකඟතාවය ප්‍රකාශ කර නොමැති අතර ඉන්දියාව හා ජපානය සමග සාකච්ඡා සිදුවෙමින් ඇතත් චීනය සමග කෙරෙන සාකච්ඡා පිළිබඳව නිශ්චිත තීරණයක් තවමත් පළ නොවීම ද විශේෂත්වයකි.

මේ අතරවාරයේ ඉන්දුනීසියාවේ, බාලි නගරයට රැස්වී සිටින ලොව බලවත්ම ආර්ථිකයන් හිමි රටවල එකතුව වන ජී - 20 සංවිධානය අවධාරණය කළේ ,සියලුම රාජ්‍ය හා පෞද්ගලික ණය හිමියන් මධ්‍ය ආදායම් ලබන රටවලට ණය සහන ලබාදීම සඳහා මැදිහත් වී සාධාරණ දායකත්වයක් ලබා  දිය යුතු බවයි.

සමුළුව අවසානයේ නිකුත් කිරීමට සූදානම්වන ඒකාබද්ධ ප්‍රකාශය උපුටා දක්වමින්, රොයිටර් පුවත් සේවය වාර්තා කළේ දුප්පත්ම රටවල තත්ත්වය ඉක්මවා මධ්‍ය ආදායම් ලබන රටවල අර්බුදය උග්‍ර තත්ත්වයට පත්ව ඇති බවයි.

ණය ප්‍රතිකාර සදහා පුරෝකථනය කළ  හැකි, කාලෝචිත හා සම්බන්ධීකරණයක් සහිත පොදු රාමුවක් අවශ්‍ය බව ජී-20 නායකයින් අවධාරණය කර තිබේ.

මෙම පොදු රාමුව අඩු ආදායම් ලබන රටවලට COVID-19 අර්බුදයට මුහුණ දීම සඳහා 2020 අගභාගයේදී ජී- 20 සහ නිල ණය හිමියන්ගේ පැරිස් සමාජය විසින් නිර්මාණය කර ඇතැයි රොයිටර් වාර්තාවේ සදහන්.

එහි අපේක්ෂිත ප්‍රතිඵල නොපෙනෙන බව පෙන්වා දෙන රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ මෙම රාමුව යටතේ ණය ප්‍රතිකාර සඳහා විධිමත් ලෙස අයදුම් කර ඇත්තේ චැඩ්, සැම්බියා සහ ඉතියෝපියාව පමණක් බවයි.

අයි.එම්.එෆ්., ලෝක බැංකුව, අමෙරිකා එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර බලවතුන් අවධානමට ලක්විය හැකි මධ්‍යම ආදායම් ලබන රටවලට ඔවුන් සකස්කළ රාමුව ඇතුළත් කිරීමට උත්සාහ කළත් ලෝකයේ විශාලතම ස්වෛරී ණය හිමියා වන චීනය එය අවහිර කරන බව ද රොයිටර් වාර්තාවේ සඳහන්ව තිබේ.

සැප්තැම්බර් මුල ශ්‍රී ලංකාව අයි.එම්.එෆ්. කාර්යය මණ්ඩල එකඟතාවක් ඇතිකරගත්ත ද ණය පහසුකම මුදා හැරීම සදහා චීනය සහ ජපානය ඇතුළු බහුවිධ ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් ලබා ගැනීම අවශ්‍යවී ඇතැයිද එම වාර්තාවේ පෙන්වා දී තිබේ.