චීන තානාපති කාර්යාලය:විරෝධයට එජාපයේ සම්බන්ධයක් නෑ.

ශෂී හෙට්ටිආරච්චි‌ගේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධයට එජාපයේ කිසිදු සම්බන්ධයක් නැහැ - පක්ෂ මහ ලේකම්

by Staff writer 13-11-2022 | 2:42 PM

COLOMBO ( News 1 st ) - සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශෂී හෙට්ටිආරච්චි මෙනවිය කොළඹ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට පසුගිය සිකුරාදා රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පැවති විරෝධතාවට සහභාගීවීම පිළිබඳව පක්ෂයේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ, ඇය ඒ පිළිබඳව තමාගෙන් හෝ පක්ෂයෙන් කිසිදු විමසීමක් නොකළ බවය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාරණය, කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කිසියම් පුද්ගලයෙකුට අයත් කාරණයක් නොවන බව, එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අවධාරණය කරයි.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මුදල් අමාත්‍යාංශය රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් වී කරන කටයුත්තකට පක්ෂයක් ලෙස සම්බන්ධ නොවන බවය. 

පක්ෂයේ අනුදැනුමකින් තොරව අදාළ විරෝධතාවට සම්බන්ධ වීම පිළිබඳව ශෂී හෙට්ටිආරච්චි මෙනවිය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග, පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ඉදිරියේදී තීරණය කරනු ඇතැයි පාලිත රංගෙ බණ්ඩාර මහතා තවදුරටත් පැවසුවේ ය.