එංගලන්තය දෙවන වරටත් T20 ලෝක කුසලානය දිනාගනී..

පකිස්ථානය පරාජය කළ එංගලන්තය දෙවන වරටත් T20 ලෝක කුසලානය දිනාගනී..

by Staff writer 13-11-2022 | 7:11 PM

COLOMBO ( News 1 st ) - එංගලන්තය දෙවැනි වරටත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය අද(13)  ජය ගැනීමට සමත් විය.

ඒ, පකිස්ථානයට එරෙහි අවසන් මහා තරගය කඩුලු 5කින් ජය ගනිමිනි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස් කළේය.

නායක බාබර් අසාම් ලකුණු 32ක්  ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ශාන් මසූඩ් පන්දු 28කින් ලකුණු 38ක් රැස් කිරීමට සමත් විය.

ශඩාබ් ඛාන් ලකුණු 20 ක් ලබා ගත් අතර පකිස්ථාන පිතිකරුවන් 6  දෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වූ අතර සුපිරි පන්දු යැවීමක නිරත වූ සෑම් කරන් කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 138ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන්  ඉනිම ආරම්භ කළ එංගලන්ත කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 2 බිඳ වැටුණේ ලකුණු 32කදීය.

නායක ජෝස් බට්ලර් ලකුණු 26ක් රැස් කළ අතර බෙන් ස්ටෝක්ස් පන්දු 49කින් ලකුණු 52ක් රැස් කළේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින්. 

එංගලන්තය තරගය ජය ගත්තේ පන්දුවාර 19ක් අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදීය.

එංගලන්තය 2010 වසරේදී ද පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැන්මට සමත් වූ අතර ඒ අනුව එංගලන්තය මේ වනවිට එක්දින සහ පන්දුවාර 20යි 20 යන අංශ දෙකේම ශූරයින් බවට ලත් වීමද  විශේෂත්වයකි.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ වීරයා සම්මානය එංගලන්තයේ සෑම් කරන්ට හිමිවිය.

ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග තරගාවලි⁣යේ වැඩිම කඩුලුලාභියා බවට පත්විය.

තරග 8කදී වනිඳු දවාගත් කඩුලු ගණන 15කි.