ගමක දුක දැක හිත් උණු වූ මනුෂ්‍යත්වය..

ගමක දුක දැක හිත් උණු වූ කොළඹ පාසලක දරුවන් පිරිසකගේ මනුෂ්‍යත්වය..

by Staff writer 13-11-2022 | 6:51 PM

COLOMBO ( News 1 st ) - කොළඹ පාසලක දරුවන් පිරිසක් එක්  වී කරුවලගස්වැව පිටිසර ගමක ජනතාවගේ පවස නිවන්න අද(13) මූලාරම්භය ගනු ලැබුවේය.

මහකරඹෑව ගම්මානය, පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුන්දර ගම්මානයකි. 

මේ ගම්මානයේ පවුල් 500කට වැඩි ප්‍රමාණයක් ජීවත් වූවත්, අවුරුද්දේ වැඩි කාලයක් රටට බත සපයන්න මහන්සි වුණත්, 
මේ අයට බොන්න පිරිසිදු වතුර නොමැති වීම නිසා  කිවුල් සහ ලවන අධික වතුර, ගමේ බොහෝ පිරිසක් සදාකාලික රෝගීන් කර හමාරයි. 

ගොවිතැනින් උපයාගත් සොච්චම, මේ අය විදයම් කරන්නේ සල්ලිවලට වතුර ලබා ගැනීමටයි. 

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ 4,500ක් වූ දරුවන් සහ ගුරුවරුන් ගම්මැද්ද සමග මේ ප්‍රශ්නය විසඳන්න අත්වැල් බැඳගත් අතර  බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ විදුහල්පති, ගරු රෝහිත රොද්‍රිගෝ පියතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් විද්‍යාලයේ දරුවන් ටිකෙන් ටික එකතු කරපු මුදල මහකරඹෑවේ මිනිස්සුන්ගේ පවස නිවන දිය පොදක් වී  ඔවුන්ගේ දෝතට ලැබෙන ප්‍රතිආශැත ජල ව්‍යාපෘතිය අද ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්ෂණික දායකත්වයෙන් ඉදිකෙරෙන මෙම ජල පෙරණ පද්ධතිය මහකරඹෑව ග්‍රාමයේ සහ ආසන්න ගම්මානවල විශාල පිරිසකගේ පානීය ජල ගැටළුවට ස්ථීර විසඳුමක් වනු නිසැකයි.

මෙම අවස්ථාවට ගම්මැද්ද නායක ශෙවාන් ඩැනියෙල්, නිව්ස්ෆස්ට් අධ්‍යක්ෂ සමාන්‍ය අධිකාරී යසරත් කමල්සිරි , බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පති ගරු රෝහිත රොද්‍රිගෝ පියතුමන්, ලුතිනන් කමාන්ඩර් අසංක නවරත්න, කරුවලගස්වැව පොලිස් ස්ථානාධිපති සුජීව අලවත්ත , පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.