.webp)
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අද (12) කළුතරින් අරම්භ වූ අම්මාවරුන්ගේ පා ගමනට පානදුරේදී පොලීසියෙන් බාධා එල්ල විය.
කළුතර බෝධිය අසළින් අද පෙරවරු 9.30 ට පමණ මෙම විරෝධතා පා ගමන ආරම්භ විය.
කෙසේ වෙතත් කළුතර පාලම අසලදී කාන්තාවන් දෙදෙනාට පොලීසිය බාධා කළේ, මග හරස් කරමිනි.
පැය භාගයක් පමණ එම ස්ථානයේ රැදී සිටි විරෝධතාකරුවන් කළුතර උතුර ප්‍රදේශය දක්වා බස් රථයකින් පැමිණ පසුව වාද්දුව දක්වා පාගමනින් ගමන් කළහ.
වාද්දුව පොලීසිය ද පිරිසට බාධා කළේ, ඒ අතරතුරයි.
පිරිස පොලීසියේ බාධාවන් ද නොතකමින් පා ගමනින් මෙන්ම යතුරුපැදි භාවිතයෙන් පානදුර නගරය දක්වා පැමිණියහ.
පානදුර නගරයේදී නැවතත් පොලීසිය කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළහ.
මේ පිළිබඳව අප කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ, විරෝධතාකරුවන් පැමිණෙමින් සිටියදී ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පානදුර දකුණ පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගිය බවයි.
එහිදි එම ස්ථානයට පැමිණි මෝටර් රථයකින් විරෝධතාවයේ නිරත කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයට නංවාගෙන පළායාමට තැත්කර ඇතැයි පොලීසිය පැවසීය.
එහිදී පොලීසිය ඔවුන් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබේ.