ඉන්දිකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්

by Staff writer 12-11-2022 | 6:13 PM

COLOMBO (News 1st) - පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභී බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක අද (11) නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා තිබේ.

ඒ, පොළොන්නරුවේදී පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ ශූරතාවලියේදීය.

ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 135 ක බරක් එස වූ අතර එය 2019 වසරේ ඔහු විසින්ම තබා තිබූ වාර්තාව අලුත් කිරීමක් වේ.

ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 292 ක බරක් ඔහු එස වූ අතර ඒ අනුව මුළු බර දැක්වුණේ කිලෝග්‍රෑම් 292ක් ලෙසය.

මේ අතර ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම, ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ කුසලානය සඳහා වන අවසන් පූර්ව වටයට අද සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, දකුණු කොරියාවේ පැවැති එහි මූලික වටයේ සහභාගී වූ තරග 3 න් 2 ක් ජය ගනිමිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පළමු තරගයේදී හොංකොං කණ්ඩායම හමුවේ පරාජය වුව ද එක්සත් අරාබි එමීර් සහ චීන කණ්ඩායම්වලට එරෙහි තරග ජය ගත්තේ ය.

ඒ අනුව ඔවුන් කුසලාන අවසන් පූර්ව වටයේදී සත්කාරක දකුණු කොරියාවට එරෙහිව තරග කිරීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (11) පැවැති මූලික වටයේ තරග 3 න්ම පරාජය විය.

ආසියානු රග්බි සම්මේලනයේ අවසර මත ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් මෙම තරගාවලියට එක් වන්නේ ඔලිම්පික් ධජය යටතේයි.