අලුත් ව්‍යවස්ථාවක් හදන්න කෝටි ගණනක් වියදම් කරලා

අලුත් ව්‍යවස්ථාවක් හදන්න කෝටි ගණනක් වියදම් කරලා - විගණන වාර්තාවක් හෙළි කරයි

by Staff writer 11-11-2022 | 8:06 PM

COLOMBO (News 1st) - රට බරපතල ණය අර්බුදයක සිර වී සිටියදීත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා අවශ්‍යතාවය ද හඳුනා නොගෙන වසර 3 කට රුපියල් මිලියන 158 ක ප්‍රතිපාදන සලසාගෙන ඇතැයි අනාවරණය වී තිබේ.

විගණකාධිපතිවරයාගේ වාර්තාවකින් අනාවරණය කර ඇත්තේ, 2020 වසරේ ඔක්තෝබර් 9 වැනිදා සිට 2021 දෙසැම්බර් 12 වන දා දක්වා කමිටු රැස්වීම් වාර 38 ක් හා බාහිර පාර්ශ්ව සමග රැස්වීම් වාර 9 ක් පැවැත්වීමට රුපියල් දෙකෝටි අට ලක්ෂ හතලිස් තුන්දහස් හත්සිය අනූ අටක් වියදම් කර ඇති බවයි.

මේ බව අනාවරණය වන්නේ, 2021 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂයේ අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට අදාළව විගණකාධිපතිවරයා නිකුත් කළ විගණන වාර්තාවෙනි.

ප්‍රයෝජනයට නොගත් කාර්යාල කාමර තුනක් සඳහා රුපියල් අටලක්ෂ දහසය දහස් හාරසිය අසූවක් වියදම් කර ඇති අතර තවත් රුපියල් හාරලක්ෂ තිස්පන්දහස් තුන්සිය හතලිස් අටක් කාර්යාල උපකරණ සඳහා වැයකර ඇත.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පිහිටුවන ලද කමිටුවේ විශේෂඥවරුන් සඳහා එක් රැස්වීම් වාරයකට රුපියල් විසිපන්දහස බැගින් ගෙවා ඇති අතර ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ තිස් එකකි.

විශේෂඥවරුන්ගේ ගමන් වියදම් සඳහා තවත් රුපියල් එක්ලක්ෂ විසිදහක් වැයකර තිබේ.

මේ අතර කමිටු ලේකම්වරයාට රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවූ මාසික දීමනාව සමග පර්යේෂණ සහකාර දීමනා ඇතුළු දීමනා සඳහා රුපියල් එක්කෝටි එක්ලක්ෂ අසූදහසක මුදලක් ගෙවා ඇති අතර ඊට අනුමැතිය ලබාගෙන නැතැයි ද විගණන වාර්තාවේ සඳහන් ය.

2020 ඔක්තෝබර් සිට 2021 දෙසැම්බර් දක්වා කාලසීමාවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ කාර්යාල හා ශාලා පහසුකම් සඳහා වැයකර ඇති මුදල රුපියල් හතලිස් හත් ලක්ෂ හැට අට දහස් දෙසීයකි.

2021 දෙසැම්බර් 31 වන දාට කමිටුව පත්කර මාස 15 ක් ගතවී තිබියදීත් එහි කාර්යය භාරය අවසන්කර නොතිබූ බව ද විගණකාධිපතිවරයාගේ වාර්තාව පෙන්වා දී ඇත.