එංගලන්තය අවසන් සටනට

ඉන්දියාවේ සිහින බොඳ කරමින් එංගලන්තය අවසන් සටනට..

by Staff writer 10-11-2022 | 8:26 PM

COLOMBO ( News 1 st ) - එංගලන්ත කණ්ඩායම 2022 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට අද(10) සුදුසුකම් ලබා ගත්තේ ය.

ඒ, ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි අවසන් පූර්ව තරගය කඩුලු 10කින් විශිෂ්ට ලෙස ජය ගනිමින් ය. 

ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේ තරගයේ කාසියේ වාසිය හිමි කරගක් එංගලන්ත නායක ජෝස් බට්ලර් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දීය ඉනිම ආරම්භ කළේ නායක රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් ය.

ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර රාහුල් ලකුණු 5කි.

විරාත් කෝලි සහ ශර්මා අතර දෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 47කි.

ශර්මා ලකුණු 27 කි. 

සූර්යකුමාර් යාදෙව් ලකුණු 14කට දැවී ගියේ ය. 

විරාත් කෝලි අද වාර්තා අතරට එක් වූයේ පන්දුවාර 20යි 20 අංශයේ ලකුණු 4,000 සීමාව පසු කළ ලොව පළමු පිතිකරු ලෙසය.

ඔහු පන්දු 40කින් ලකුණු 50ක් රැස් කළේ ය.

හර්ඩික් පාන්ඩ්‍යා ඉන්දීය ලකුණු පුවරුව වේගවත් ලෙස ඉහළ නැංවූයේ පන්දු 33කින් ලකුණු 63ක් රැස් කරමින් ය.

6 පහර 5කින් සහ 4 පහර 4කින් ඔහුගේ ඉනිම වර්ණවත් විය. 

ක්‍රිස් ජෝඩන් කඩුලු 3කි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6කට ලකුණු 168ක් රැස් කළේ ය.

ලකුණු 169ක ඉලක්කයකින්  එංගලන්ත ඉනිම ආරම්භ කළේ , නායක ජෝස් බට්ලර් සහ ඇලෙක්ස් හේල්ස් ය.

ආරම්භයේ සිටම ඉන්දීය ප්‍රබල පන්දු යවන්නන් අසරණ කළ ඔවුන් දෙදෙනා  පන්දුවාර 4යි පන්දු 5කදී එංගලන්ත ලකුණු පුවරුව 50ක් දක්වා ඉහළ නැංවිය.

ඉන් නොනැවතුණු බට්ලර් සහ හේල්ස් පන්දුවාර 16ක් තුළ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ආරම්භක පිතිකරු යුගලයේ වගකීම මැනවින් ඉටු කරමින් ය.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 170ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැගුවේ ය.

එය 20යි 20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඕනෑම කඩුල්ලකට පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ ඉහළම ලකුණු සබඳතාවයි. 

බට්ලර් පන්දු 49කින් නොදැවී ලකුණු 80ක් රැස් කළ අතර 4 පහර 9ක් සහ 6 පහර 3ක් ඊට ඇතුළත් විය. 

හේල්ස් පන්දු 47කින් නොදැවී ලකුණු 86ක් රැස් කළේ, 6 පහර 7ක් සහ 4 පහර 4ක් ද සමගින් ය.

එංගලන්තය 2010 වසරේදී 20යි 20 ලෝක ශූරයින් වූ අතර 2016 වසරේදී අනුශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදු විය.

ඒ අනුව 2009 වසරින් අනතුරුව 20යි 20 ලෝක කිරුළක් දිනා ගැනීමේ පිපාසයෙන් පෙළෙන පකිස්ථානයට එරෙහිව එංගලන්තය, ලබන ඉරිදා මෙල්බන්හිදී තරග බිමට පිවිසීමට නියමිතය.